හිතුවක්කාරී මා නුඹේ.. හතලිස් පස්වෙනි කොටස.

ඔන්න ඔහේ සරත් මාමා කතා කරගෙන මමම යනවා. දැන් මේ ගැන කිව්වොත් තිසුල කලබල වෙලා දුවගෙන ඒවී. මම හිතුවා.

මං හෙමින් හෙමින් ලේස්ති වෙලා පල්ලෙහාට ආවා.

“පේමා අම්මේ.. සරත් මාමා නැද්ද..”

මම එහෙම අහගෙන කුස්සියට ගියේ සරත් මාමාට ඉක්මනට ලේස්ති වෙන්න කියන්න හිතාගෙන.

“ටවුන් එකට යන්න ඕනේ කියලා ලේස්ති වෙනවා.. පුංචි නෝනාත් කොහෙහරි යන්නද හදන්නේ..”

මගේ දිහා බලලා අහිංසක විදියට හිනාවෙලා පේමා අම්මා කිව්වා.

“ඔව්.. පේමා අම්මේ.. මටත් පොඩ්ඩක් ටවුමට යන්න ඕනේ.. පේමා අම්මටත් මොනාහරි ගේන්න ඕනේද..”

ඉස්සර පුරුද්දට මැගි අම්මගෙන් අහනවා වගේ පේමා අම්මාගෙනුත් මම එහෙම ඇහුවා.

පේමා අම්මා හිනාවුනා විතරයි.

ඉස්සර මැගි අම්මත් එහෙමයි. මොනවා හරි ගේන්නද ඇහුවාම හිනාවෙනවා. පව් ඉතින්.. දුප්පත්කම නිසානේ මෙහෙම රස්සාවක් කරන්නේ.. පේමා අම්මා දිහා බලාගෙනම මං හිතුවා.

“නෝනෙත් කොහේහරි යන්නද..”

සරත් මාමා එහෙම අහගෙන එලියේ ඉඳලා කුස්සියට එද්දී මං හැරිලා සරත් මාමා දිහා බැලුවා.

“ඔව් සරත් මාමේ.. පොඩ්ඩක් ටවුන් එකට යන්න කියලා..”

මම කිව්වා.

“යමුද එහෙනම්..

වතුර වීදුරුවක් අරන් බීලා සරත් මාමා ඇහුවා.

“යමු…”

“පේමා අම්මේ.. ගිහින් එන්නම්..”

සරත් මාමා දිහා බලලා එහෙම කියලා කුස්සියෙන් එන්න ඇවිත් ආපහු හැරිලා මං පේමා අම්මාට එහෙම කිව්වා.

මං එහෙම කිව්වාම පේමා අම්මා අහිංසක විදියට හිනා උනා.

පේමා අම්මා පව්. දරුවෝ පස් දෙනෙක් ඉඳලාත් වයසට ගියත් තාමත් දුක් විඳිනවා. පුංචි කාලේ ඉඳලා කවලා පොවලා උස් මහත් ක‍රලාත් වයසක දෙමව්පියෝ බලාගන්න බැරි නම් ඒ දරුවන්ගෙන් වැඩක් තියේද.. එලියට එන ගමන් මං හිතුවා.

“පුංචි නෝනා කොහේටද යන්නේ..”

මං කාර් එකට නැගලා ටික දුරක් ආවටත් පස්සේ සරත් මාමා එහෙම ඇහුවා.

“නර්සින් හෝම් එකට..”

මං කිව්වා.

“පුංචී නෝනාට සනීප නැද්ද..මහත්තයාට කිව්වේ නැද්ද නෝනා…”

සරත් මාමා බයවෙලා වගේ එහෙම ඇහුවා.

“නෑ.. එහෙම අසනීපයක් නෑ.. පොඩ්ඩක් ඔලුව රිදෙනවා.. මං ටවුමට ආවේ ගෙදරට බඩු ටිකක් ගන්න.. ඒ ගමන්ම බෙහෙත් ටිකක් ගත්තානම් කියලා හිතුනා..”

මං වාහනෙන් එලිය බලාගෙන කිව්වා.

මං එහෙම කිව්වාම සරත් මාමා හැරිලා මගේ දිහා බලලා අහිංසක විදියට හිනාවෙලා ආයෙත් ඉස්සරහාට හැරුනා.

“මහත්තයා හරී ආදරෙයි පුංචි නෝනාට.. කොයිවෙලෙත් පේමාට ඇවිත් කියනවා
නෝනේව බලාගන්න කියලා.. වෙලාවට කන්න දෙන්න කියලා.. මොනාහරි තිබ්බොත් කෝල් කරන්න කියලා…”

“අපේ අප්පේ එහෙම ආදරයක් මං දැක්කමයි..”

ටිකක් වෙලා නිහඬව ඉඳලා වාහනේ එලවන ගමන් ඉස්සරහා බලාගෙන සරත් මාමා එහෙම කිව්වා.

මං හිනාවුනා විතරයි.

තිසුල ඒ තරම් මං ගැන හොයලා බලනවා කියලා මං දන්නේ දැන්. ඒත් තිසුල ඇයි ඒ බවක් මට නොපෙන්නා ඉන්නේ. කියලා මං කල්පනා කරා..

“නෝනා මෙතනින් බහිනවද..”

කල්පනා කර කර හිටපු මං පියවි සිහියට ආවේ සරත් මාමාගේ කටහඬට.

නර්සින් හෝම් එක ඉස්සරහා වාහනේ නවත්තලා සරත් මාමා එහෙම ඇහුවාම මං හිනාවෙලා ඔව් කියන්න වගේ ඔලුව වනලා වාහනෙන් බැස්සා.

“ආ.. මං ගිහින් එනකම් සරත් මාමා පේමා අම්මාටයි සරත් මාමටයි ඇඳුම් ටිකක් ගන්න..”

මං බහිනවත් එක්කම වාහනෙන් බැස්ස සරත් මාමා ළඟට ගිහින් රුපියල් දහදාහක් සරත් මාමාගේ අතට දීලා මං කිව්වා.

“ඒත් නෝනේ..”

“ඒත් මේත් නෙවෙයි.. යන්න.. ගිහින් එන්න..”

සරත් මාමා එහෙම කියනවත් එක්කම මම හිනාවෙලා සරත් මාමා දිහා බලලා එහෙම කිව්වා.

මං නර්සින් හෝම් එක ඇතුලට එද්දී සරත් මාමා යන්න ගියා.

මං විමසීම් කවුන්ටරය ගාවට යද්දී එතන කවුරුවත් හිටියේ නැති නිසා මං වටපිට බැලුවා.

මං දැක්කේ ටිකක් ඈතින් තිසුල ඉන්නවා වගේ.

මං කලබලෙන් ආයිත් හැරිලා බැලුවත් තිසුල පේන්න හිටියේ නෑ.

මටත් හොඳටම පිස්සු.. තිසුල කොහේද මෙහේ.. තිසුල ඉන්නේ ඔෆිස් එකේනේ. අද වැදගත් රැස්වීමක් තියෙනවා කියලාත් කිව්වානේ.. ෆෝන් එකත් ඕෆ් කරගෙන වැඩ වෙන්න ඇති. යන යන තැන තිසුල මැවි මැවි පේන්නේ. මටත් පිස්සු හැදීගෙන එනවාද මන්දා. තනියම හිනාවෙවී මම එහෙම හිතුවා.

නර්සින් හෝම් එක මට නුපුරුදු තැනක් නෙවෙයි නිසාම මං බය නැතුවම විමසීම් කවුන්ටරය ගාවින් ඈත් වෙලා එක පැත්තකින් පේලියට තියන වෛද්‍යවරුන්ගේ කාමරත්, අනිත් පැත්තෙන් තියෙන රෝගීන්ගේ කාමරත් මැදින් ඇවිදගෙන ගියේ මට හමුවීමට උවමනා වෛද්‍යවරයාගේ කාමරය තිබෙන්නේ කෙලවරම බව මතක් වෙලා.

ඉස්සර උසස් පෙලට පන්ති එන කාලේ මම නිතරම මෙහෙට එනවා නේද කියලා මට මතක් වෙලා හිනාගියේ ඉබේටම.

පන්ති යන එනකොට ගෙදර යනකම් ඉන්න බැරි තරමට මුත්‍රා බරක් ආවොත් ෆෝන් එකත් කනේ තියාගෙන කතා කරනවා වගේ බොරුවට කියව කියව කී දවසක් නම් මම මේකේ වොෂ්රූම් වලට ගිහින් ඇත්ද කියලා මට මතක් උනා.

“හරි.. හරී…”

මං ඒ ගැන හිත හිතාම හිනාවෙවී ඉස්සරහට යනකොට මට ඈතින් වගේ ඇහුනේ තිසුලගේ කටහඬට.

මං හැරිලා බැලුවත් කවුරුවත් පේන්න හිටියේ නෑ.

“මං හැමදේම ලේස්ති කරන්නම්..”

ආයෙමත් තිසුලගේ කටහඬ ඇහෙද්දි ඒ කටහඬ ඇහෙන්නේ මං පහුකරගෙන ආව අඩවන් කරලා තිබුනු රෝගීන්ගේ කාමරේ ඇතුලෙන් කියලා තේරුම් ගන්න මට අමාරු උනේ නෑ.

අනුන්ගේ කාමරේකට හොරෙන් එබිලා මං කරන්නේ වැරැද්දක් කියලා හිතෙද්දි තිසුල මොනවාද මෙහේ කරන්නේ කියලා හිත හිතාම මං අඩවන් කරපු දොර අතරින් කාමරේට එබුනා.

ඒ දැකපු දෙයින් මගේ ඇස් අදහාගන්න බැරි උනා.

තිසුල හිටියේ තනියම නෙවෙයි.

තිසුලගේ ළඟින්ම රෝගීන්ගේ ඇඳෙන් හාන්සී වෙලා හිටියේ තිසුලගේ යාලුවා කියලා කියපු ටාශි.

තිසුල ඒ ළඟින්ම වාඩිවෙලා ටාශිගේ අතකින් අල්ලගෙන දුරකථන සංවාදයක හිටියේ.

මං කිසිවක් හිතාගන්න බැරුව පුදුමයෙන් ඒ දිහා බලාගෙන හිටියේ ගල් ගැහිලා.

“මට ඒවගෙන් වැඩක් නෑ.. පුලුවන් ඉක්මනටම හෙට උදෙන්ම ඉන්ග්ලන්ඩ්වලට තියෙන ෆ්ලයිට් එකට ටිකට්ස් දෙකක් බුක් කරන්න..”

“ඔව්.. කොහොමහරි ඕනේ.. මගේ #පුංචි එකී ඉක්මනට සනීප කරගන්න මට වෙන කරන්න දෙයක් නෑ.. ඒ ඩොක්ටර් අවුරුද්දකට පස්සෙයි ඉන්ග්ලන්ඩ්වලට එන්නේ.. සති දෙකකින් ආයෙත් ඇමෙරිකා යනවා…”

“මට තවත් මගේ #පුංචි කෙල්ල දුක් විඳිනවා බලාගෙන ඉන්න බෑ.. #මගේ පුංචි එකී සතුටින් නැත්නම් මට වෙන කිසිම දේකින් වැඩක් නෑ..”

තිසුල එහා පසින් අහන දේවල්වලට පිලිතුරු දෙද්දී මං කල්පනා කරේ තිසුලගේ ජීවීතේ මට තියෙන තැන මොකද්ද කියලා.

මං අඬාගෙනම කාමරේ දොර ගාවම බිත්තියට හේත්තු වුනේ දෑතින්ම මූන වහගෙන.

එතකොට තිසුල මට කරේ බොරුවක්ද. මට ආදරේ වගේ කරේ රඟපෑමක්ද. ආයෙත් කාමරේ දිහා බලලා ටාශිගේ අතින් අල්ලගෙන ඉන්න තිසුල දිහාත් බලලා මං පපුවට දෑතම තියාගෙන එහෙම හිතුවා.

තාමත් තිසුල ටාශිගේ අතින් අල්ලගෙන.

“හරි.. මං දැන් තියන්නම්.. උවමනාවක් උනොත් මට ගන්න..”

එහෙම කියලා තිසුල ඇමතුම විසන්ධි කරලා දුරකථනය කලිසම් සාක්කුවට දාගත්තා.

“මං හැමදේම බලාගන්නම්.. ඉක්මනටම මං මේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා.. ඔයාට දැන් ඒ තරම් අමාරුවක් නෑනේ..”

එහෙම කියලා ටාශිගේ ඔලුව අතගාලා තිසුල ටාශිගේ නලලත සිපගත්තා.

මං කරකියාගන්න දෙයක් නැතුව අඬ අඬාම ඒ දිහා බලාගෙන හිටියා.
තිසුලගෙන්ම මේ ගැන අහලා දැනගන්න ඕනේ කියලා හිතුනත් ටිකකට කලින් දැකපු දේවල් එක්ක තිසුලගේ ඉස්සරහට යන්න තරම් මගේ හිත හයිය නෑ.

කාමරේට යනවා, ගිහින් තිසුලගෙන්ම මේ සිද්ද වෙන්නේ මොකද්ද කියලා අහනවා කියලා හිතාගෙන ඉස්සරහට තිබ්බ අඩිය මං ආපස්සට ගත්තේ තිසුලගේ උත්තරය මොකක් උනත් මට ඒක දරාගන්න බැරිවෙයි කියලා හිතුනු නිසා.

අඬ අඬාම ටිකක් වෙලා තිසුලත්, ටාශිත් දිහා බලාගෙන ඉඳලා මං කලබලෙන් හැරිලා එලියට දුවගෙන ආවේ තිසුල ටාශි ගාවින් නැගිටිනවා දැකලා තිසුල මාව දකීවීයයි හිතිලා හොඳටම බයවෙලා.

එලියට ආපු මං ඇස්වල කඳුළු පිහිදගත්තේ නර්සින් හෝම් එක ඉස්සරහා ටිකක් එහාට වෙන්න නවත්තලා තියෙන කාර් එකට වෙලා ඉන්න සරත් මාමාව දැකලා.

බොහොම අමාරුවෙන් කඳුළු හංගගෙන ආයාසයෙන් හිනාවක් මවාගෙන මං කලබලෙන් කාර් එකට නැග්ගේ මගේ දිහා බලාගෙනම ඉන්න සරත් මාමාගේ ඇස් මගහැරලා.

බොහොම අමාරුවෙන් ඉවසගෙන තද කරගෙන හිටපු කඳුළු හීන් ඉකියකුත් එක්කම මගේ ඇස්වලින් එලියට පැන්නේ කාර් එකට නැගලා වාඩිවුනු තත්පරේමයි.

“පුංචි නෝනා අඬනවද.. මොකද උනේ නෝනේ.. බෙහෙත් ගත්තේ නැද්ද…”

ඉකි ගගහා අඬන මගේ දිහාවට හැරිලා සරත් මාමා එහෙම අහද්දී මං කඳුළු පිහිදාගෙන මුකුත් නෑ කියන්න වගේ හිස වැනුවා.

“බෙහෙත් ගත්තා.. ඔලුව ටිකක් රිදෙනවා.. ඒකයි..”

මං අමාරුවෙන් වචන එකතු කරලා බොරුවක් කිව්වා.

“එහෙනම් දැන් ගෙදරද යන්නේ පුංචි නෝනා..”

“ඔව්.. ගෙදර යමු..”

සරත් මාමා ඉස්සරහා බලාගෙන අහද්දී මං ඇඬුම් අතරින් එහෙම කියලා ඇස්දෙක තද කරලා පියාගත්තා.

ගෙදර එනකම්ම ඇස්දෙක පියාගෙන ආව මං ඇස්දෙක ඇරියේ සරත් මාමාගේ කටහඬට.

“නෝනේ.. ගෙදරට ආවා..”

“හ්ම්.. හා හරී…”

සරත් මාමා එහෙම කිව්වාම මං එහෙම කියලා කාර් එකේ ඉඳගෙනම ගේ දිහා බලලා හිතුවේ තවත් මං ගෙදර ඉන්නවාද නැද්ද කියලා.

මොනදේ උනත් ඔක්කොටම කලින් තිසුල එක්ක එකපාරක් කතා කරන්න ඕන කියලා හිත කියද්දි මං කාර් එකෙන් බැහැලා හෙමින් ගෙට ආවා.

එහෙමම මං ගියේ අපේ කාමරේට.

මගේ ඇස්වල කඳුළු අලුත් වෙද්දී ඇඳ උඩ වාඩිවෙලා මං තිසුලගෙත් මගෙත් පින්තූරය දිහා බලාගෙන කොච්චර වෙලා හිටියාද කියලාවත් මං දන්නේ නෑ.

මට පන වගේ ආදරේ කරපු, මාව ගොඩක් පරිස්සම් කරපු, මං නැතුව මොහොතක්වත් ඉන්න බෑ කියපු, මං නැතුව ජීවිතයක් නෑ කියපු තිසුලමද මේ ඉන්නේ කියලා මං කල්පනා කරේ පුදුමයෙන්.

“පුංචි නෝනා කන්නේ නැද්ද..”

ඒත් එක්කම එහෙම අහගෙන පේමා අම්මා කාමරේට ආවා.

“බෑ පේමා අම්මා… පේමා අම්මා කන්න..”

කන්න පිරියක් නැති නිසාත්, ඊටත් වඩා මගේ හිත හොඳටම නොසන්සුන් නිසාත් මට බඩගින්නක් දැනුනේ නැති තරම්.

ඒ නිසා මං එහෙම කියලා ඇඳෙන් හාන්සී වුනා.

හොඳටම රෑ වෙලා මට ඉබේටම ඇහැරිලා මං වෙලාව බැලුවා.

දහයට කිට්ටු වෙලාත් තිසුල තාමත් ගෙදර ආවේ නැද්ද කියලා හිත හිතාම මං ඇඳෙන් නැගිටලා පල්ලෙහාට ගිහින් සාලේ සෝෆා එකෙන් වාඩිවුනා.

තිසුල ඇයි මට මෙහෙම කරේ කියලා මං කල්පනා කරද්දී තිසුල මට ආදරේ නෑ කියලා මට මොහොතකට නොහිතුනාමත් නෙවෙයි.

අපි අතරේ මොනදේ උනත් තිසුල මට ආදරේ නෑ කියලා හිතුනත් තිසුල පරක්කු නිසා මගේ හිතට දැනුනේ කියාගන්න බැරි තරම් බයක්.

ඔව්.. තිසුල නැතුව ජීවිතයක් ගැන හිතන්නවත් බැරි තරම් මං තිසුලට ආදරේ කරනවා. මං හිතුවා.

ඒත් එක්කම එලියෙන් ඇහුනේ වාහනයක් මහ හඬින් ඇවිත් නවත්තන සද්දේ.

හමුවෙමු නැවතත්..
———————————————————–
එස්. කේ. එල්. ගීගනගේ.
—————————————–

#යාලුවනේ.. ඔන්න කලින්ම කියන්නේ බනින්නනම් ලේස්ති වෙන්න එපා.. මං කියලාත් මොනවා කරන්නද..

ඉස්සරහට මොනවා වේව්ද.. හා.. කට්ටියම කියන්න බලන්න..

කතාව ගැන අදහස් කියාගෙන යන්න.. කතාව කියවන ලයික් කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි…


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “හිතුවක්කාරී මා නුඹේ.. හතලිස් පස්වෙනි කොටස.

  • March 14, 2018 at 9:06 am
    Permalink

    58 ta klin tika balnne kohomada

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *