හිතුවක්කාරී මා නුඹේ.. පනස් පස්වෙනි දිග හැරුම

එහෙම කියලා චූටි අයියා පල්ලෙහාට එද්දී මං ඇඳෙන් නැගිටලා වොෂ්රූම් ගිහින් ඇවිත් ඉක්මනට ඇඳුම් මාරු කරගෙන කිරි එක බීලා පල්ලෙහාට ආවා.

මං එහෙමම කුස්සියට ගියේ සාලේ කවුරුවත්ම පේන්න හිටියේ නැති නිසා.

“පේමා අම්මේ..”

මම කතා කරත් පේමා අම්මා කුස්සියේ හිටියේ නැති නිසා මම ආයෙත් සාලේට ඇවිත් සෝෆාවෙන් වාඩිවුනා.

“සුදු චූටි.. බත් කමුද.. පේමා අම්මා බඩු වගයක් ගේන්න පොලට යනවා කිව්වා…”

ඒත් එක්කම එහෙම අහගෙන චූටි අයියා සාලේට එද්දී ඒ පස්සෙන්ම ලොකු අයියාත් පොඩී අයියත් දෙන්නම ඇවිත් මගේ ළඟින්ම සෝෆාවෙන් වාඩි වුනා.

“දැන්ම කන්න බෑ චූටි අයියේ.. තිසුල කොහේද ගියේ.. යන අහක් කිව්වේ නැද්ද..”

චූටි අයියගේ දිහා බලලා ලොකු හුස්මක් අරගෙන මං ඇහුවා.

“යන අහක් කිව්වේ නෑ.. එනකොට හවස් වෙයි කියලා විතරයි කිව්වේ..”

මගේ දිහා බලලා චූටි අයියා කිව්වා.

“මටනම් බඩගිනියී ඕයි.. බඩ පනුවෝ බොක්සිං ගහනවා මේ.. සුදු චූටි.. අපි කමුකෝ..”

මෙච්චර වෙලා නිහඬව ඉඳලා එකපාරටම පොඩී අයියා එහෙම කිව්වේ ඇඳගෙන හිටපු ටීෂර්ට් එකත් උස්සලා බඩත් පෙන්නලා හිනාවෙලා.

ඒක කියපු විදියට මට හිනාගියේ ඉබේටම.

“වහගනින් යකෝ ඕක.. ඔය බඩ පුරාම තියෙන මයිල් වනේ දැකලා සුදු චූටිත් හිනාවෙනවා..”

“අනේ පලයන් බූරුවෝ.. කොහේද මගේ බඩේ මයිල් තියෙන්නේ.. මට පේන්නේ උඹ හීනයක් දැකලා වගේ..”

ලොකු අයියා හිනාවෙවී එහෙම කියද්දී පොඩී අයියා එහෙම කියලා ලොකු අයියාට රවලා සෝෆා එකෙන් නැගිටලා කෑම කාමරේට ගියා.

“යමු කාලා ඉමු..”

ලොකු අයියා එහෙම කියද්දි මමත් ලොකු අයියයි චූටි අයියයි දෙන්නත් එක්කම නැගිටලා කෑම කාමරේට ඇවිත් වාඩිවෙලා කන්න පිරියක් නොවුනත් මගේ කුසේ ඉන්න පැටව් ගැන හිතලා බත් ටිකක් කෑවා.

“මං කාමරෙන් ඉන්නම්..”

එහෙම කියලා මං කෑම මේසෙන් නැගිටලා අතත් හෝදගෙන කාමරේට ආවේ තිසුල ගැන කල්පනා කර කරම.

තිසුල කොහේ යන්න ඇත්ද. වෙනදාට කොහේ ගියත් යන්න කලින් මට කතා කරනවානේ. කවදාවත් නැතුව අද මොකද මට නොකියාම ගියේ. මම හිතුවා.

සමහරවිට මං ඊයේ වැඩිය කතා නොකර හිටපු නිසාද දන්නේ නෑ. කමක් නෑ කෝල් එකක් අරගෙනම අහනවා. පව් දුකින් ඇත්තේ.. කුසට අතකුත් තියාගෙන මම හිතුවා.

එහෙම හිතලා මං තිසුලගේ දුරකථනයට ගන්න හැදුවත් තිසුලගේ දුරකථනය ක්‍රියාවිරහිත වෙලා තිබුනා.

“අපි ඇවිදින්න යමුද ටිකක්.. දවල්ටත් කොහෙන්හරි කාලා ශොපින් පාරක් දාලා එමු..”

තිසුල ගැන අහන්න හිතාගෙන මං සාලේට යද්දී පොඩී අයියා හිනාවෙවී එහෙම අහගෙන මගේ කාමරේ දිහාවට ආවා.

“ඒත් තිසුල.. තිසුලගේ ෆෝන් එකත් ඕෆ්.. අනේ මට බය හිතෙනවා..”

පොඩී අයියා එහෙම කිව්වත් මං අයියලා දෙන්නා දිහා බලාගෙන ඉස්සරහාට ගියේ එහෙම කියාගෙන.

“අයියා ඒවී.. මොකෝ ඌ බබෙක්‍ද ඔය තරම් පරිස්සම් කරන්න.. අපි ටිකක් ඇවිදලා එමු…”

ලොකු අයියා මගේ දිහාවට හැරිලා එහෙම කියලා නැගිටලා මගේ ළඟට ආවා.

“කෝ.. සුදු චූටී.. ගිහින් ඇඳුමක් දාගෙන එන්න.. අයියා එන්න කලින් අපි ගිහින් එමු.. නැත්තම් ඕකාට ඉරිසියා හිතෙයි..”

ලොකු අයියා මගේ ඔලුව අතගාලා හිනාවෙලා එහෙම කිව්වාම මං ලොකු අයියා දිහා බලලා ආයාසයෙන් හිනාවෙලා කාමරේට ආවා.

මං ඉක්මනට ලේස්ති වෙලා සාලේට එද්දී අයියලා තුන්දෙනාම ලේස්ති වෙලා මං එනකම් බලාගෙන ඉන්නවා.

“යමු.. ”

මං ටිකක් පරක්කු නිසාම ලැජ්ජාවෙන් බිම බලාගෙන එහෙම කිව්වා.

කාර් එකේ එනකම්ම මං කතා නොකරම ආවාත් ලොකු අයියාත් පොඩි අයියාත් කොහේද යන්නේ, මොනවාද ගන්නේ, කොහෙන්ද දවල්ට කන්නේ කියලා රන්ඩු වෙවීම බරටම කතාව.

මං ඒ ගොල්ලෝ කියන හැමදේටම හිනාවෙලා නිහඬවම ඉඳගෙන කල්පනා කරේ තිසුල කොහේද කියලා.

“ආවා…”

මං පියවි සිහියට ආවේ පොඩී අයියාගේ කටහඬට.

අපි වාහනේ නැවැත්තුවේ නගරයේ තියෙන විශාලම සාප්පු සංකීර්ණය ඉස්සරහා.

“බහින්න.. කෝ.. යමු..”

චුටී අයියා එහෙම කියද්දි අපි කාර් එකෙන් බැහැලා ඇතුලට ආවා.

ලොකු අයියා අපිවත් ඉස්සර කරන් ගියේ ළදරු භාණ්ඩ තියෙන පැත්තට.

මං ආසාවෙන් ඒවා අතගගා බලද්දී චූටි අයියා විවිධාකාර සෙල්ලම් බඩු, ඇඳුම් ආදිය මහ ගොඩක් අරගෙන තිබුනා.

මං එතන හිටියත් මගේ හිත තිබුනෙම තිසුලගේ ළඟ. මං හිටියේ තිසුල ගැන හිත හිතා නිසා ගන්න ඕන මොනවාද කියලාවත් මගේ හිතේ අදහසක් නෑ.

ගන්න ඕන කියලා හිතුනු හැමදේම අයියලාම තෝරලා අරගෙන තිබුනු නිසා මමත් නිහඬවම හිටියා.

“සුදු චුටීටත් ඇඳුම් ටිකක් ගමු.. මටත් ඇඳුම් ටිකක් ගන්න ඕනේ..”

“උඹට මොකටද බන් ඇඳුම්.. නයි නටවන්නාගේ රිලවා වගේ ඉන්න උඹට මොන ඇඳුම ඇන්ඳත් ලස්සනක් තියෙන එකක්‍ද..”

චූටි අයියා හිනාවෙවී සතුටින් එහෙම කිව්වාම ලොකු අයියා චූටි අයියා තරහ ගස්සන්න හිතාගෙන වගේ සමච්චලයට හිනාවෙලා එහෙම කිව්වා.

“මම රිලවානම් උඹත් රිලවෙක් තමයි.. අර බලපන්කෝ කන්නාඩීයෙන්..”

සාප්පු සංකීර්ණයේ කැඩපතක් පෙන්නලා චූටි අයියා හිනාවෙලා ලොකු අයියගේ ඔලුවට තට්ටුවක් දැම්මේ අපි දෙන්නගේ වෙනසක් නෑ කියන්න වගේ කියලයි මට හිතුනේ.

අපි ඔක්කොම උඩට ඇවිත් ඇඳුම් අරගෙන ඉවරවෙලා සාප්පු සංකීර්ණයෙන් එලියට එනකොට දවල් එකත් පහුවෙලා.

පොඩී අයියාටත් හොඳටම බඩගිනී කියපු නිසා අපි ඔක්කොම දවල්ට කන්න රෙස්ටුරන්ට් එකකට ආවා.

නොකිව්වාත් මං හිටියෙත් හොඳටම බඩගින්නේ.

ලොකු අයියා අපි ඔක්කොටම චිකන් රයිස් ඕඩර් කරලා ගෙනත් අපි කාලා ඉවරවෙලා ගෙදර එන්න හදද්දීම මං දැක්කේ ටිකක් ඈතින් ටේබල් එකක වාඩිවෙලා ඉන්න තිසුලව.

ඒ ළඟින්ම වාඩිවෙලා හිටියේ තිසුලගේ දෙවෙනි අම්මා කියලා අඳුරගන්න මට අමරු වුනේ නෑ.

මං පුදුමයෙන් ඒ දිහා බලාගෙන හිටියේ තිසුල මටත් නොකියාම ආවේ අම්මා හමුවෙන්නද කියලා හිත හිතා.

“සුදු චූටි.. යමුද එහෙනම්..”

“අම්මා..”

චූටි අයියා මගේ අතින් අල්ලගෙන එහෙම කියනවත් එක්කම මං චූටි අයියා දිහා බලලා එහෙම කිව්වා.

“අම්මා.. කෝ..”

චූටි අයියත්, මාත් ළඟට ආපූ පොඩි අයියා එහෙම අහද්දී මං මුකුත් නොකියාම ඇස්වලින් තිසුල ඉන්න දිහා පෙන්නුවා.

“අයියේ.. අපේ අම්මා..”

ටිකක් වෙලා ඒ දිහා බලාගෙනම ඉඳලා මගේ දිහා බලලා මගේ අතින් තද කරලා අල්ලගෙන චූටි අයියා එහෙම කියද්දි මං චූටි අයියා දිහා බැලුවා.

ඒ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා දැක්කම මගේ හිතට දැනුනේ කියාගන්න බැරි තරම් වේදනාවක්.

තමන්ගේම අම්මා නොවුනත් ඒ ඇස්වල තිබුනේ අම්මා වෙනුවෙන් සැබෑම ආදරයක් සෙනෙහසක් කියලයි මට හිතුනේම.

“යමු.. අම්මා ගාවට..”

මං එහෙම කියලා මගේ අතින් අල්ලගෙන ඉන්න චූටි අයියගේ අතින් අල්ලගෙන යන්න හැදුවාම ලොකු අයියා ඇවිත් මගේ ඉස්සරහා හිටගත්තා.

“එපා සුදු චූටී.. අපි ගෙදර යමු.. අපි දැක්කා කියලා අයියා දැක්කොත් අයියාට තරහ යයි..”

ඇස්වල කඳුළු පුරවගෙන අසරණ වෙලා වගේ ලොකු අයියා එහෙම කිව්වා.

මං එහෙමම ටික වෙලාවක් ඉඳගෙනම කල්පනා කරේ තිසුල මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා.

“යමු..”

පොඩි අයියා ආයේමත් එහෙම කිව්වාම මං හෙමින් හෙමින් ඇවිත් කාර් එකේ වාඩි වුනා.

ගෙදරට එනකම්ම අපි කවුරුවත් කතා නොකරම ආවා.

චූටි අයියා සද්ද නොකරම වාහනෙත් බැහැලා ගෙට ගිහින් ඔලුවත් බදාගෙන සෝෆාවෙන් වාඩි වෙද්දී මාත් පස්සෙන්ම ගිහින් ඒ ළඟින්ම වාඩි වුනා.

“චුටී අයියේ.. මොකද මේ..”

මං චූටි අයියගේ ඔලුටට අත තියලා අහද්දිම ලොකු අයියාත් පොඩී අයියත් ගෙට ඇවිත් මගේ ඉස්සරහින් වාඩි වුනා.

“සුදු චූටී.. අපේ අම්මා.. අවුරුදු දහයකට පස්සේ දැක්කේ..”

චූටි අයියා එහෙම කියාගෙන මගේ උකුලෙන් ඔලුව තියාගත්තා.

චූටි අයියා අඬද්දි මගේ ඇස්වලටත් කඳුළු පිරුනේ ඉබේටම.

“අපි අම්මා එක්කගෙන එමු..”

මං එහෙම කියලා චුටී අයියාගේ ඔලුව අතගෑවා.

“චූටී.. මොකද බන් මේ.. කෝ නැගිටපන්.. අඬන්න එපා යකෝ.. උඹ අපි ඔක්කොම අඬවනවානේ..”

ලොකු අයියා එහෙම කියලා සෝෆාවෙන් නැගිටිද්දිම එලියෙන් ඇහුනේ මහ හඬින් වාහනයක් නවත්තන සද්දේ.

ඒ ටිකකින් දොරත් ඇරගෙන ගෙට ආව තිසුල දිහා මං බැලුවේ මගේ ඇස් ඉස්සරහා තියෙන්නෙ ඇත්තක්ද කියලා හිතාගන්න බැරුව ඇස්දෙකත් ලොකු කරන් පුදුමයෙන්.

හමුවෙමු නැවතත්..
—————————————————–
එස්. කේ. එල්. ගීගනගේ.
————————————–


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

4 thoughts on “හිතුවක්කාරී මා නුඹේ.. පනස් පස්වෙනි දිග හැරුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *