බ්‍රිතාන්‍යයෙන් නිදහස දෙනවා කියල අපිව රැවැට්ටුවද?

ලංකාව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ යටත් විජිතයක් විදියට තිබ්බ රටක්….

ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ බටහිර ජාතීන් යටතේ පාලනය වුණ රටක්….

.ඉතින් කොහොමද එයාලා ලංකාව හොයාගෙන ආවෙ…

අපි හැමෝම දන්නවනේ බටහිර රටවල ක්‍රියාත්මක වුණා දේශගවේෂණය කියල දෙයක් …අර කොලොම්බස් ඇමරිකාව හොයා ගත්තේ..මැගලන් ලෝකෙ වටේ ගියේ අන්න ඒ දේශගවේෂණය නිසා තමයි .

එයාල සමහරුන්ට ඕන වුණේ ජීවත් වෙන්න අලුත් භූමියක් හොයා ගන්න..ඒත් නැත්තන් ඒ අලුතින්ම හොයා ගන්න ගොඩබිමේ පොළවේ තියන රත්තරන් ,රිදී,මැණික් වගේ සම්පත් ලබා ගන්න.ඒ වුණාට එයාලට පෙරදිගට එන්න නම් ලොකුම හේතුව වුණේ කුළුබඩු වර්ග ලබාගන්න.නැත්තන් වැවිලි බෝග විදියට ඒවා ව්‍යාපාරයක් කරගෙන ආදයම් ලබා ගන්න.

පෘතුගාලය ,ඕලන්දය (දැන් අපි නෙදර්ලන්තය කියල කියන්නෙ) ,ස්පාඤ්ඤය ,ප්‍රංශය,බ්‍රිතාන්‍යය කියන රටවල් අතර තමයි මේකට ලොකු තරඟයක් තිබ්බේ…..

කොහොම හරි 1505 දී තමයි ලංකාවට මේ විදියට බටහිර ජාතීන් පළවෙනි වතාවට ආවෙ..ඒ කුළුබඩු හොයාගෙන ආව පෘතුගීසි නැවක හිටපු ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසි ජාතික පිරිසක්..ඒත් මෙයාලට පුළුවන් වුණේ මුහුදුබඩ ප්‍රදේශ අයිති කරගන්න විතරයි …ඉතින් එයාලා ඒව අයිති කරගන්නකන් ලංකාවෙ රජවරු බලන් හිටියද ?

නෑ එහෙම වුණේ නෑ ලංකාවෙ අයත් සටන් කරා..ඒත් බටහිර ජාතීන්ට කාලතුවක්කු ,වෙඩි බෙහෙත් වගේම නාවික බලයත් තිබ්බ නිසා සටන් කරන එක අසීරු වුණා කියල තමයි කියන්නේ.

කොහොම හරි පෘතුගීසි ජාතීන් ලංකාවෙන් ලබාගත්ත සම්පත් අපනයනය කරල ආදායම් ලබාගන්නව දැක්ක ලන්දේසි ජාතීන්ටත් ලංකාවේ බලය අත්පත් කරගන්න ඕනි වුණා.අනිත් එක තමයි මේ වෙනකොට ඉන්දියාවෙත් යුධ කඳවුරු පිහිටවගෙන තිබුණ නිසා එහෙට යන්න එන්න වගේම කුළුබඩු දූපත් කියල හඳුන්වපු ගිණිකොනදිග ආසියාතික රටවල් (ඉන්දුනීසියාව,ජාවා ) වල කටයුතු මෙහෙයවන්නත් ලංකාව අත්පත් කරගත්තොත් ලොකු පහසුවක් වුණා.වැදගත්ම දේ තමයි නැව් නවත්තල තියන්න ස්වභාවික වරායක් වුණ ත්‍රිකුණාමල වරාය අත්පත් කරගැනීම වාසිසහගත වුණා.

ඔය විදියට පෘතුගීසින් පළවාහැරලා 1658 දී ලන්දීසීන් ලංකාවෙ මුහුදුබඩ ප්‍රදේශවල බලය අයිති කරගත්තා.ඇයි මුහුදුබඩ ප්‍රදේශ විතරක් ? මොකද උඩරට ප්‍රදේශ වලට යනකොට ගිරිදුර්ග ,වනදුර්ග වගේම කපොළු ගොඩක් පහුකරගෙන යන්න ඕනිනෙ.බලන කපොල්ල,ඉදල්ගහින්න කපොල්ල ,ගලගෙදර වගේ තැන් තරණය කරන එක ඒ තැන් පුරුදු නැති ජාතියකට කරන්න අමාරු දෙයක්.අනික තමයි උඩරට මිනිස්සු පුරුදු වෙලා හිටියා දුර්ග ඔස්සේ එන හමුදා වලට හැංගිලා ඉඳලා පහරදෙන්න.

ඊට පස්සෙ 1796 පෙබරවාරි මාසෙ 16 වෙනිදා තමයි අපි හැමෝම දන්න ඉංග්‍රීසි ජාතීන් ලංකාවේ මුහුදුබඩ බලය අත්පත් කරගත්තෙ .ඉංග්‍රීසින් කිව්වට බ්‍රිතාන්‍යය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම.ඒත් එයාලගෙ පාලනය යටතේ ගොඩක් ප්‍රශ්න හටගත්ත නිසා බ්‍රිතාන්‍යය ආණ්ඩුව පසුකාලීනව මුහුදුබඩ ප්‍රදේශ පාලනය එයාලගෙ පාලනයට නතුකරගත්‍තා.
ඔන්න ඔතනින් පස්සෙ තමයි හැමෝම වන්දනාමාන කරගෙන ගරු කරපු රජතුමා වෙනුවට බ්‍රිතාන්‍යයෙන් පත් කරලා එවපු “ආණ්ඩුකාරවරයා ” කියන කෙනා අපිව පාලනය කරන්න පටන් ගත්තේ.

අන්තිමේදි 1812 වෙනකොට පත්වුණ රොබට් බ්‍රවුන්රිග් කියන ආණ්ඩුකාරවරයාගෙ පාලනය යටතේ අර අල්ලා ගන්න අමාරුවෙන් තිබ්බ උඩරට ප්‍රදේශත් අත්පත් කරගන්න ඉංග්‍රීන්ට පුළුවන් වුණා.ඒ 1815 මාර්තු දෙවනිදා අත්සන් කරපු උඩරට ගිවිසුමෙන් පස්සෙ.මේකට ගොඩක්ම හේතු වුණේ රජුට විරුද්ධව රදළවරු ඉංග්‍රීසීන්ට සහය පළකරපු එක.

ඊටපස්සෙ එයාලට ඕනි වුණේ නැව් ගමනාගමනයට ,එතකොට යුද්ධ කරන්න ගියපු වියදම් ඔක්කොම අපෙන් නැවත අය කරගන්න.ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි බදු අයකරගන්න එක.අපෙ රටෙන් ගත්ත සම්පත් රට පටවලා ආදායම් ගන්නවා මදිවට තවත් අමතර බදු බරක්.ඉතින් මේවට විරුද්ධව 1818 දී උඩරට ප්‍රදේශ වල කැරැල්ලක් ඇති වුණත් ඉංග්‍රීසි ආණ්ඩුව ඒක මර්දනය කරා.

කොහොම කොහොම හරි ඔය විදියට 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබෙනකන්ම ඉංග්‍රීසීන් අපිව පාලනය කරානේ..ඒ නිසා ලැබුණ හොඳ දේවල් වගේම නරක පැතිත් නැතුවා නෙවෙයි…ගොඩක්ම හොඳ දෙයක් වුණේ කුල ක්‍රමය මත පදනම් වෙච්ච රාජකාරි ක්‍රමය වෙනුවට තමන්ගේ අධ්‍යාපන මට්ටම් මත හා හැකියාව මත සුදුසු රැකියාවක් කරන්න හැමෝටම අවස්ථාව උදාවුණ එක.. නැතිනම් ඉස්සර කාලෙ වගේ කුලය අනුව අම්මලා තාත්තලා කරපු රස්සාවම තමයි අපිටත් කරන්න වෙන්නෙ.අනික තමයි ඉඩම් භුක්තිය මත පදනම් වුණ රාජකාරි ක්‍රමය අහෝසි වුණ එක…රජතුමායි ප්‍රභූවරුයි වාසභවනට වෙලා සැපෙන් ඉන්නකොට හද්දා අවුවේ ඉඳලා වගා කරලා,අස්වැන්න කපලා ගෙදරටම ගෙනිහින් මෙන්න දේවයන්වහන්ස කියල දෙන්න කවුද කැමති අද කාලෙ? ..ඒ වගේම අපිට කැමති විදියට මහජන නියෝජිතයන් පත් කරගන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙත් බ්‍රිතාන්‍යයන් යටතේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණ සර්වජන ඡන්ද බලය නිසා.

ඒ වුණාට තේ ,කෝපි,රබර් වගේ වැවිලි භෝග වගාවන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබුණ නිසා වී ගොවිතැනට හේන් ගොවිතැනට තිබ්බ අවධානය අඩුවුණ නිසා කන්න ඕනි හැමදේම පිටරටින් ගෙන්වන්න වුණා වගෙ දේවලුත් අමතක කරන්න බෑ.
අනික ඉතින් අපෙ රටේ සම්පත් වලින් භාගෙට භාගයක් අදටත් ඇත්තේ ඒ රටවල් වල..මැණික්ම කොයි තරම් අරන් ගිහින්ද කියන්න කවුරුත් ගණන් බලලා නැතුව ඇති .

දැන් අපි අභිමානයෙන් ඒ නිදහස් දිනය සමරන්නනෙ මේ ලෑස්ති වෙන්නෙ ..ඉතින් අපි බලමු අපිට නිදහස දෙනව කියල මොනවද දුන්නේ ඇත්තටම කියල …..

ඒ ලැබුණ නිදහසට කියනව ” ඩොමීනියන් ආකාරයේ නිදහසක් ” කියල. ඒක පූර්ණ ජාතික නිදහසක් වෙන්න නම් රටට ස්වාධීනව කටයුතු කරන්න නිදහස තියෙන්න ඕනි. ඒත් අපිට ලැබුණේ මොකක්ද කියල කිව්වොත්

‘බ්‍රිතාන්‍යය යටතේ ස්වයං පාලනයක් ” කියල කියන්න පුළුවන් …

1948 වෙනකොට ක්‍රියාත්මක වුණ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා “අග්‍රාණ්ඩුකාරවරයා රැජිනගේ නියෝජිතයා විදියට බ්‍රිතාන්‍යය කිරීටය නියෝජනය කරනවා කියල …
ඒ යටතේ අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවෙන් හදන නීති වලට බලපෑම් කරන්න අග්‍රාණ්ඩුකාරවරයාට පුළුවන්කමක් තිබුණා…. ඒ වගේම රාජ්‍ය පාලනයේදී බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන් අනුගමනය කරන්න ඕනි කියලත් සඳහන් වුණා….

ගොඩක් වැදගත්ම දේ තමයි ලාංකිකයන්ගේ අවසානම අභියාචනාධිකරණය විදියට සඳහන් වුණේ බ්‍රිතාන්‍යය ප්‍රිව් කවුන්සිලය .හිතමුකෝ නිකමට මෙහෙ අධිකරණයකින් දෙන තීන්දුවකට කෙනෙක් ප්‍රිව් කවුන්සිලයට අභියාචනාවක් කරනවා.ඒක ක්‍රියාත්මක කරන්නෙ බ්‍රිතාන්‍යයෙන් .එයාලා මෙහෙන් දුන්න තීන්දුව වැරදියි කියල තීරණය කරොත් අපිට ඒකට යටත් වෙන්න සිද්ධ වුණා…

මේ වගේ හේතූන් ගොඩක් නිසා අපිට පූර්ණ ජාතික නිදහසක් ලැබුණා කියල හිතන්න බෑ .ඒත් අපි මේ විදියට නිදහස සමරන මොහොතේ හිතන්න නම් ගොඩක් දේවල් තියනව .ලෝකෙට පරාදීන ජාතියක් නොවී ණයගැති ජාතියල් නොවී ශ්‍රී ලාංකිකයො විදියට ලෝකෙ ඉස්සරහට යන්න පුළුවන් නම් අපිව යටත් කරන් හිටපු ජාතීන්ටත් වඩා ඉස්සරහට යන්න පුළුවන් නම් අන්න එදාට මුළු රටටම බයක් සැකක් නැතුව නිදහස භුක්තිවිඳින්න පුළුවන් වෙයි.

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *