ජිවිතේ අතරමග දවසක් -14

” මම ගොඩක් තනි වෙච්ච මිනිහෙක්, මං පොඩි කාලේ ඉදන්ම අම්මා හිටියෙ රට. ආච්චි තමයි මාව හදාගෙන තියෙන්නෙ. ලොකු අම්මා තමයි මට කිරි දීලා තියෙන්නෙ. මගෙ අම්මා සල්ලි පස්සෙ දිවුවා මිසක් එයාට මං ගැන බලන්න වෙලාවක් තිබුනෙ නෑ. මගෙ වැරදි වලට උල්පන්දම් දුන්නා මිසක් කවදාවත් මාව නිවැරැදි කරන්න උවමනාවක් එයාට තිබුනෙ නෑ “

” එතකොට කෝ ඔයාගේ තාත්තා “

” මං පොඩි කාලේ එයා අපිව අත ඇරලා ගිහිල්ලා. දැන් එයා වෙන කාව හරි මැරි කරලා ලොකු ලමයිනුත් ඇති. මං තරහා නෑ එයත් එක්ක මොකද අර වේස ගෑනිත් එක්ක ඉදලා ඒ මිනිහට එපා වෙන්න ඇති “

කියනවාට වඩා දෙයක් සැගවී ඇති බව මට දැනුනි . එහෙත් පෑරුන හිතක් තවත් පාරන්නට උවමනාවක් මට නොවීය.

” අතීතයට අයිති දේවල් වර්තමානයට ගෙනත් නිකරුනේ දුක් විදින්න එපා අයියා. මේ මොහොත සිහියෙන් ජීවත් වෙන්න. හිත ශක්තිමත් කර ගන්න. මේ ලෝකේ ඔයිටත් වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු ජීවත් වෙනවා. ඒ අතින් ඔයා වාසනාවන්තයි. “

” ඔයා එහෙම හිතනවද මැනික ? “

” හ්ම්ම්…. මං එහෙම හිතනවා. ඒත් ඔයා මට ප්‍රොමිස් වෙන්න ඕනා පරන වැරදි ආයෙමත් කරන්නෑ කියලා “

” මං පොරොන්දු වෙන්නම් මැනික, අයේ ඒ දේවල් මගෙන් වෙන්නෑ “

” හොදයි , එහෙනම් අපි මලිගාව වදින්න යමුද ? “

” අනේ අපි මෙහෙට වෙලා ඉමුකො මැනික , ලගට වෙලා කතා කර කර “

” මට නම් දැන් බඩගින්නකුත් තියෙනවා , එහෙනම් අපි මොනවා හරි කමුද ? “

දුරකථනය නාද වීමත් සමගම

” කවුද ? “

” අම්මා ” ……… ” හෙලෝ අම්මා , කියන්න “

” දැන් කොයි හරියෙද ඉන්නෙ ? කීයටද ගෙදර එන්නේ ? “

” තාම අපි නුවර ඉන්නෙ අම්මා , දැන් මේ කෑම කන්න හදන්නේ . කාලා ටිකකින් මෙහෙන් පිටත් වෙනවා අම්මා “

” හ්ම්ම්, හ්ම්ම් මං තියනවා එහෙනම් “

දුරකථනය විසන්ධි කල පසු මා ඔහුගේ මුහුන බැලීය.

” අම්මා මොකද කියන්නේ ? “

” මුකුත් නෑ ඉක්මනට ගෙදර එන්න කිවුවා”

ඔහු ෆ්‍රයිඩ් රයිස් සමග චිකන් ඩෙවල් , සැලඩ් සහ අතුරුපසට අයිස් ක්‍රීම් ඕඩර් කලේය. ඇත්තටම එවැනි කෑම අපේ ගෙවල් වල කනවා තියා අහලකට වත් ගේන්නේ නැත. මා බඩ පැලෙන්නට කෑවත් එරංග මා දිහා බලා සිටි විදිහට මහත් ලැජ්ජාවක් දැනුනි . එය ගනන් නොගෙනම

” මොකෝ මහත්තයා බය වෙලා !”

” නෑ, …. නෑ….. මුකුත් නෑ , ඔයාට තව මොනවා හරි ඕනද ? “

” අපෝ …… වෙනනම් මුකුත් එපා . බන්ඩි ගෙඩිය ෆුල් .. “

” ඇත්තටම මං බලන් හිටියෙ මං දැකලා නෑ ගෑනු ලමයි ඔය තරම් කනවා “

” මේකයි මහත්තයෝ, ඔය අනිත් ඇට කිච්චියො ගැන නම් කියන්න මං දන්නෑ. මට උන් කෑවත් එකයි, නැතත් එකයි. හැබැයි මට කන එක කන්න ඕන සුපිරියට. “

” ඕහ් …. එහෙමද , මං දැනන් හිටියෙ නෑනේ “

” දැන් දැන ගත්තනේ….. මන් ඔයාට එකක් කියන්නම් මං ඔය අනිත් ගෑනු වගේ උඩින් යන්නෑ. පොලොවෙ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක් . මගෙ ලග ඔය සෝබන වැඩ නෑ. ඕපන් හාර්ට් . කතාව කෙලින් “

” අම්මට සිරි, චන්ඩි කෑල්ලක්නෙ මාත් ඉදලා ඉදලා සෙට් කරගෙන තියෙන්නේ “

” අයියා අපි ඉක්මනට යමු නේද ? “

” මේ මට ඩ්‍රෙස් එකක් ගන්නත් ඕනා. නංගා අම්මට කෝල් කරලා කියන්න අපි මෙහෙමම බම්බලපිටිය පැත්තටත් ගිහින් එන්නෙ කියලා. “

ඉතා වෙහෙසකර ගමනකින් පසු අපි බම්බලපිටියට ලගා උනෙමු. MC එකට ගොඩ වැදී මිල අදිකම කෝට් කිට් එක ඔහු මිලට ගත්තේය. එතනින් දෙහිවලට ගමන් කර ආපසු නිවස බලා යද්දී රෑ දහය පමන විය. අම්මා මූන දෙක කරගෙන සිටියාය.

” අනේ … අනේ… යසයි ගෙදර එන වෙලාව . “

” පරක්කු උනා අම්මා පාරෙ ට්‍රැෆික් එහෙන් , මෙයාට සූට් එකකුත් ගන්න උනානේ “

” කෑම කාලා නිදා ගනින් එහෙනම් අර ලමය ගෙදර යනවද ? මෙහෙ ඉන්නවද ? “

” අයියේ ඔයා කනවද ? “

” කන්න බෑ නංගි, මාර මහන්සියි නිදිමතයි හොදටම “

මං වොශ් එකක් දාගෙන කාමරයට යද්දී අම්මා මගේ පිටුපසින් පැමින

” ආ….න් , අර කොල්ලට පුටුව උඩම නින්ද ගිහින්, දැන් නිදිමතේ වාහන එලවන්න කරන්න බෑනේ ලොකු ඇදට ගිහින් නිදාගනින් ඉතින් . කසාද බදින්න කලින් එක ගෙදර දෙන්නට ඉන්න දෙන්නෙත් නෑ. කරන්න දෙයක් නෑ ඉතින් “

මම කිසිත් නොකියාම සාලයට ගොස් එරංගව කීද්දුවෙමි. කෑම කාමරයේ කොනක දමා ඇති ත්‍රිපල් බෙඩ් එකට කොට්ට දෙකක් දමා අපි දෙදෙනා එහි නිදාගත්තෙමු. උදෑසන පහට පමන හෝටලයට පිටත් වූ අපි , අපිට වෙන් කල කාමරයේ සියලු බඩු බාහිරාදිය දමා විවාහයට සූදානම් වූයෙමු. නැකත උදෑසන හතයි හතලිස් හතරට යෙදී තිබුනෙන් සැලෝන් එකේ අක්කා හතයි විස්ස වන විට මා සූදානම් කර අවසන් කලාය. මා සිටි කාමරයට පැමිනි එරංග ඉතාමත් හැගුම්බරව මාගේ මුහුන දෙස බලා නලලට හාදුවක් දුන්නේය.

” අම්මෝ ….. ඇති ඇති , අද කැන්දන් ගිහාම බැරියැ ඇති තරම් ඉඹ ගන්න .”

සැලෝන් එකේ අක්කා නෝන්ඩිය දාද්දී අප දෙදෙනා ලැජ්ජාවෙන් සිනාසී බිම බලා ගත්තේය.

රෙජිස්ට්‍රාර් වරයා වේලාසනම ඇවිත් තිබූ නිසා දිවුරුම් ප්‍රකාශ කියවා හරියටම නැකතට අත්සන් කර මුදු මාරු කරගන්නට විය. අට වන විට අරාධනා කල සියලු අමුත්තන්ගෙන් හෝල් දෙකම පිරී තිබිණි . මාගේ ඇදුම් පැලදුම් හැඩගැන්වීම් මුදු වෙඩින් හෝල් කෑම බීම සියල්ලම වෙනුවෙන් පිරි වැය දැරුවේ ඔහුය. මාගේ ගෙදරින් සත පහක වත් වියදමක් නොවිණි . එකම දවසේ උදේ සුදු ඇදුමත් දවල් දොලහෙන් පසු රතු ඇදුමත් ඇද හවස හය , හත වෙද්දී උත්සවය නිමා විය. මේ අතර මැද්දේ හිත රිදෙන සිදුවීම් කීපයක්ම විය.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *