ජිවිතේ අතරමග දවසක් -23

” නංගී…… ඒයී ….. හලෝ බහින්න අපි නිගම්බු වලට ආවා “

පැයක ගමන් කාලයකින් පසු අපි මීගමුවට ආවා. කල්පනාවට වැටුනු නිසා එනවා තේරුනේවත් නෑ.

” කල්පනා ලොව මල් වනේ….. යලුවට ඔච්චරටම මොනවද හලෝ කල්පනා කරන්න තියෙන්නේ… “

සම්පත් ගේ බෙලෙක්ක හඩට විරිත්තාගෙනම මමත් කාර් එකෙන් බැස අවට බැලුවෙමි. කොච්චර ලස්සන තැනක් ද ? මගේ මූඩ් එකේ හැටියට කියාපු තැන .

ෂෙරීන් මාගේ අතේ එල්ලී සම්පත්ට පිටුපසින් හොටෙල් කොරිඩෝව දිගේ ගමන් කරන්නට විය. ඇය නම් ගොඩාක් සතුටින් වගේ.

” නංගා ඔයා තරහ වෙන්නේ නැත්තම් බඩ්ඩක් කියන්නද ? “

” මොකක්ද ? “

” දැන් සම්පත් අයියයි මමයි කතා කරද්දි ඔයාට තනියම ඉන්න බෑනේ. ඒ නිසා එයාගෙ යාලුවෙකුත් එනවා “

” මොකටද …. මගේ තනියට ද ? “

කේන්තිය යටපත් කරගෙන වෙන්කර තිබූ මේසයේ අසුන් ගත් මා සැරබීම බෝතලේ විවෘත කලෙමි. සම්පත් කෑදරව මගේ දෙස ෂෙරීන් ට හොරෙන් හොරෙන් බලයි. අනේ මෙහෙමත් යක්කු. හොර ජෝඩුවට එයාලගෙ ලෝකෙ තනිවෙන්න දීලා ලයිට් එලියෙන් වෙරලට ඇදෙන රල දිහා මං බලන් හිටියේ ආයෙත් අතීතය මතක් කරමිනි. ****

” නෑ එහෙම වෙන්න බෑ ඩොක්ටර් , මම පිල්ස් ගත්තනේ “

අම්මෙක් වෙන්න බලාපොරොත්තු නොතියන් හිටපු නිසාදෝ මගේ මුහුනින් සතුටක් නම් ඇයට නොපෙනෙන්නට ඇත. මා ඉන්නා ගිනිගොඩ දන්නේ මා පමනි.

” නැහැ මිසිස් මදුශිකා මේ රිපෝර්ට් වැරදි වෙන්න විදිහක් නෑ. එහෙම වෙන්න විදිහක් නෑ කිවුවේ මේ වගේ දෙයක් ඔයා බලාපොරොත්තුවෙන් නෙවේද ඉන්නේ ?”

” ඇත්තටම මේකයි ඩොක්ටර් මගෙ වයසත් තාම අඩුයි. අනික මගේ මැරේජ් එකත් එච්චරම සක්සස් නෑ. අම්මලා උනත් මට මොනවා නොකියයිද ? “

” ඉතින් ඔයා මැරීඩ් නම් අම්මලට වොරි වෙන්න දෙයක් නැහැනෙ , අනික ඇබෝෂන් එහෙකට කොහොමටත් ඔයාට යන්න බෑ ඒක ලොකූ රිස්ක් එකක් මං හිතන්නෑ ඒ වගේ සිටුවේශන් එකකට ඔරොත්තුදෙන්න තරම් ඔයාට පුලුවන් කියලා “

ගතම දහඩියෙන් නෑවිනි. සසල වූ සිතින් එලියට පැමින මා කලේ වහාම අම්මාට දැනුම් දීමයි. ඈ කලේ ඇවිලෙන ගින්නට පිදුරු ඩිංගක් එකතු කිරීම පමනි.

” උඹට පිස්සුද , මෙච්චර ඉක්මනින් ලමයෙක් හදාගත්තේ …. ඔන්න ඕක නැති කරලා දාපන් “

ඇයම කෝල් එක කට් කලාය. කිසිම හැගීමක් නොමැතිව මමත් ගෙදරට ගොඩ වැදුනි. තද හිසේ කැක්කුමත් කුමක් කරම්දෝ ප්‍රශ්නයත් නිසා විඩාපත් වූ මා දෙනෙත් පියා ගතිමි. දහවල් එකට දෙකට පමන එරංග ආ පසු මම ඔහුට දැනුම් දුන්නෙමි.

” අයියේ …. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා “

” ඉතිං කියනවා හිතේ තියන් ඉන්නැතිව “

” ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ “

බිබී උන් වතුර උගුරක් හිර කර ගත් ඔහුගේ ඇස් විශාල කර මගේ ඇගට කඩාගෙන පැන්නේය.

” තොට බැරි උනාද ඕකට මුකුත් කරගන්ඩ , කවුද දන්නේ ලමයා මගෙද නැත්තං වෙන එකෙක්ගෙද කියලා “

” අත ඇරපං මාව , තුක් විතරක් තෝත් පිරිමියෙක්ද ? බලෙන් ඇවිත් බුදියනකොට නම් උඹට මුකුත් ප්‍රශ්න තිබුනෙ නෑ දැන් තමා සේරම “

” මං කියන්නම් මං අපේ අම්මට කතා කරන්නම් එයා කියයි ඕකට මොකක්ද කරන්න ඕන කියලා “

දැන් දැන් මරණය වැලඳ ගන්නට සිතේ. හවස් වන විට ලතා මට කෝල් කරන්නට විය.

” හලෝ , මදුරී… මේ තියෙන ප්‍රශ්න මදිවට ලමයෙක් හදන්න එපා.
බම්බලපිටිය පැත්තේ තියෙනවා හොටෙල් එකක් වගේ හොද තැනක්. මන් ඇඩ්‍රස් එක දෙන්නම් එතෙන්ට යන්ඩ “

” මං ෆෝන් එක එරංගට දෙන්නම් එයත් එක්ක කතා කර ගන්ඩ “

කිසිත් නොකියා එරංගටම ෆෝන් එක දී කමරයට වැදී දොරත් වසා මා හැඩුවේ ඇයි කාටවත් මීට වඩා මානුෂිකව මේ ප්‍රශ්නය දිහා බලන්න බැරි කියලයි. මා සිත දැඩිකර තීරණයක් ගෙන එලියට පැමිනියෙමි.

” මේ අහපන් මිනිහෝ, මට තොගෙන් වැඩකුත් නෑ තොගෙ මහගෑනිගෙන් වැඩකුත් නෑ. මහපාරේ හිගාකාලා හරි මම මේ දරුවව හදනවා… හැබැයි එක දෙයක් මීට පස්සෙ උඹ මගෙ ඇගට අත තියන්නත් එපා , උඹට ඕන වේසගෑනියක් එක්ක නටලා වරෙන් මගෙ ලමයගෙ උප්පැන්නට නම දීලා. “

ඔහු මා අභියෝගයට ලක්කරමින් සමච්චල් හිනාවක් පෑවේය.

මුල් මාස කිහිපය ඔක්කාරයත් හිස කැරකෙන ගතියත් නිසා බොහෝ අවස්ථා වල ඇදටම වී කාලය ගත කලත් කුස ගින්නට කන්නටවත් හරි හමන් දෙයක් නොවීය. ඔහුත් මමත් එක ගෙදර කාමර දෙකක සිටි නිසා ඔහුගේ මුහුන වත් නොදුටුවෙමි. ගෙදරින් පිට කාලය ගත කර මද්‍යම රාත්‍රියේ පැමිනීම ඔහු පුරුදු කරගත් හෙයින් මා ගැන සොයා බැලීමටවත් කෙනෙක් නොවීය. පාලූ මකාලන්නට ඇතැම් අවස්ථා වල මන් සුපුන් සමග පැය ගනන් දුරකථන ඇමතුම් වල රැදී සිටියෙමි.

නලුවෙකු වීමට ඉවරයක් නැතිව කොළඹ ගෑටුවත් බොහොමයක් අය මුදල් කඩා වඩා ගත්තා පමනි . ඔය අතරතුර මුදලට විකිනෙනෙ නිලියන්ට පිස්සු වැටී එක එකා සමග නටන නාඩගම් මා සමග හිතවත්ව කතා කල කොළඹ තරුනයෙකු හරහා දැනගතිමි. එය ද අහම්බෙන් දැන අදුර ගැනීමක් විය. එරංගගේ අයදුම් පත් විශාල ප්‍රමානයක් මා තැන් තැන් වලට යවන අතරේ කෝල් කරන්නටද අමතක නොකලෙමි. එවැනි ඇමතුමක් හරහා දැන හදුනගත්තෙකි ” මල්වත්ත ” .

ඔහුගේ ගොරෝසු පැහැදිලි කට හඩට මම වශී වූයෙමි. මා දුකින් සිටි අවස්ථා වලදී බොරු හේතු හදාගෙන ඔහු හා කතාවට වැටීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩිකල් නොයා අප දුරකථනය හරහා සමීපව ඇසුරු කරන්නන් බවට පත්විය. මගේ ඇත්ත තොරතුරු ඔහුට කී විට ඔහු එරංග ගැන ඔත්තු බලන්නට විය.

” තමුසෙ එක එක නැට්ටිච්චියොත් එක්ක නටන නාඩගම් මම දන්නෑ කියලා හිතන්න එපා. තමුසෙ ඔය වැටෙන්න හදන්නේ ලොකූ අමරුවක බව අමතක කරන්න එපා “

දිනක් රැකගෙන හිද එරංගට මම අනතුරු හැගවීමක් කලත් දැන් ඔහුට දූවිල්ලක් තරම් වත් මා කෙරේ වටිනා කමක් නොවීය. මාගේ කෑම බීම බෙහෙත් හේත් කිසි දෙයක් ගැන ඔහුට වගක් නොවීය. කෑම නැති සමහරදාට මම ගැට ඇඹරැල්ලා හෝ ඇඹරැල්ලා කොල සෝදා ආහාරයට ගතිමි. අහල පහලින් ඉදහිට ගඩාගෙඩි කඩාගෙන කෑවෙමි. මානසිකව වෙහෙසට පත්ව සිටින අතරතුර වරකා කෑමට අශාවක් පහල විය. එහෙත් එය ඉෂ්ට කලේ එරංග නොව සුපුන් ය. මා ඔහුට දැන් වූ පසු පැනි වරකා ගෙඩියක් අම්මාට ගෙනත් දී තිබුනත් මට හමුවුනේ හතරෙන් එකකටත් අඩු කොටසකි. ගෙදර එවුනුත් බඩ වෙලා කියලා හිත හදාගත්තත් දුක සිතුනි .

බන්ඩි ගෙඩිය ඉදිරියට ඇවිත් දැයි හැමදාම උදේට කණ්නාඩිය ඉදිරියට ගොස් එක එක අතට හැරී මම බලද්දී අමුතුම සතුටක් වින්දෙමි.

” කවුරු නැතත් මට ඔයා හරි ඉන්නවනේ “

කුස පිරිමදිමින් මම දරු පැටියාට නිතර කෙදිරුවෙමි. ටික ටික කුස ඉදිරියට නෙරා එද්දී අහල පහලට සගවන්නට තරම් දෙයක් මට නොවීය. ඒත් ගෙදර මිනිහා නිකමටවත් මට ආදරයක් නොදැක්වීම ගැන ලෝකයට මම වසන් කලෙමි. කාලය වේගයෙන් ගත වෙද්දී පුන්ච් පැටියාගේ පා පහරවල් වලට බන්ඩිය ඇද වෙද්දී බියක් මෙන්ම වේදනාව පිරි සතුටක් වින්දෙමි . එහෙත් චූටියගෙ තාත්තට නම් ඒ අත්දැකීම් විඳගන්න තරම් කාලයක් නොවුනි .

මම තනිව කතා කලෙමි. හැඩුවෙමි , සිනාසුනෙමි. ඒ මානසික පීඩනය දරුවාටත් දැනෙන්නට ඇති. අම්මෙක් තාත්තෙක් වෙන්නත් පින තියෙන්න ඕනා දරුවන්ගේ හුරතල් බලන්න.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න