ජිවිතේ අතරමග දවසක් -26

” දැන් ඉතින් මේ පැටියත් කර ගහගෙන කොහොමද ජීවත් වෙන්න හිතන් ඉන්නේ “

” මිනිස්සු අපට පස්ස පැත්තෙනුත් හිනා වෙනවා ඇති ලක්ෂ ගණන් සල්ලි වියදම් කරලා මගුල් කාලා කසාදෙත් කඩන් උඹ ගෙදර ආවට “

” දැන් එලවළු හරි ගනන් , පින් බත් කවන්න විදිහක් නෑ කාටවත් “

” අම්මේ ,,, කරන්ට් බිල වැඩි වෙලා තියෙන තරම් මේවට සල්ලි ගෙවන්න ඕනා නිකන් පාවිච්ච් කරන්න බෑ “

බත් කටක් කන වෙලාවට ෆෝන් එක චාජ් කරන වෙලාවට හුලන් ටිකක් වදින්න එලියට බැස්ස වෙලාවට අම්මගෙන් මට ලැබුනෙ ඔය වගේ සහයෝගයක් තමයි. මං නොකානොබී දරුවට කිරි දුන්නා. පුලුවන් තරම් ඉවසුවා බැරිම තැන දවසක් ,

” ලක්ෂ ගණන් වියදම් කලේ අම්මා නෙවෙයිනේ , ඉතින් මිනිස්සු කොහෙන් හිනා උනත් අපට මොකද ? “

” අනේ මේ ,,,, උඹ කට වහගනින් කටේ නම් සැර අඩු වෙලා නෑ . පැටියෙකුත් කර ගහගෙන උඹට ලැජ්ජා නැති උනාට අපට ලැජ්ජයි කවදාහරි මේවා අක්කටත් බලපායි ”

මම කරබාගෙන නිහඩ වූවෙමි. පල නොකියා පලා බෙදන බව දනිමි. ඒත් අත දරුවෙකුත් එක්ක මං කොහේ කියලා යන්නද ? මැරෙන්න හිතුන වාර අනන්තයි . ඒත් පුන්චි පුතාව දකින ගානේ මං හිත හදාගත්තේ දරුවාගේ මූන බලාගෙන වහ ටිකක් දෙන්න , ගඟේ මුහුදෙ පනින්න පුලුවන්ද ? මං තනියම මැරුනත් මගේ දරුවව ආදරෙන් බලා ගන්නේ කවුද ? මම කාටත් නොකියා ජොබ් වලට ඇප්ලිකේෂන් දැම්මා. අක්කා වැඩිය හිත රිදෙන්න මුකුත් නොකීවට පුලු පුලුවන් වෙලාවට පන්සීයක් දාහක් දුන්නා . මල්වත්ත හැම මාසෙම හරදාහක් බැංකුවට දැම්මා.

” දැන් කරන්න තියෙන්නෙ ඔය පැටියව අනාථ නිවාසෙකට දාලා වෙන ම්නිහෙක් එක්ක යන එකයි . මේකගේ මූන දකිද්දී මට අරූවමයි මතක් වෙන්නේ . අක්කට මං කිව්වා එයාගේ සල්ලි නාස්ති කරන්න එපා කියලා බොරුවට “

” ආ…. යකෝ… උඹටත් ලමයි තුන් දෙනෙක් ඉන්නවා නේද ? හදන්නන් වාලේ හදලා ලොකු කලාට මට බෑ මගේ ලමයව අනාථ කරන්න , ඔයා මගෙ ලමයව බලන්න එපා මට මාස දෙක තුනක් මෙහෙ ඉන්න දෙන්න මං යන්නම් ඉක්මනට “

” කොහොමත් මං යන්න කියද්දි උඹ මේ ගෙදරින් යන්න ඕනා. “

ගෙදරින් එහෙම හිත අවුලවන සහයෝගයක් ලැබෙද්දී ගම අම්මා අනිත් පැත්තෙන් මගේ ඔලුව කන්න පටන් ගත්තා.

” ඈ …… කෙල්ලේ උඹලෑ අම්මා මුකුත් කියන්නැද්ද ලමයත් එක්ක එහෙ ඉන්නවට ? “

” නෑ “

” එරංගව දන්න කෙනෙක් මගෙන් හාර හාර විස්තර ඇහුවා දැන් මොකෝ වෙලා තියෙන්නේ කියලා “

” ඈ …. ගමම්මේ ඒ කවුද ඒ …. කියන්න එපැයි මගෙන් විස්තර අහගන්න කියලා අනික මැනිකෙ අම්මාත් කසාදේ කඩා ගත්තේ වෙනසකට තියෙන්නේ මට ලමයෙක් ලැබුන එක විතරයි “

” අපේ මැනිකේ …. මොන ප්‍රශ්නයක් ආවත් ගෙදර ආවේ නෑනේ “

” එන්න බෑනේ , ඇවිත් ඔයා එක්ක ඉන්න බැරි හින්දනේ එයා පිට නැවතිලා ඉන්නේ “

” දැන් අරූ ලස්….සන ගෑනුත් එක්ක සතුටු වෙනවා ඇති, මට එහෙම ඔහොම උනා නම් වහ ටිකක් කාලා මැරෙනවා කාටවත් බරක් නොවී “

” අනේ මම නම් එච්චර මෝඩ නෑ ගමම්මේ , මං ඉක්මනින්ම පිලියමක් හොයා ගන්නවා “

” උඹ ආයේ කසාද බදිනවද ? කසාද නම් බදින්න එපා රට්ටුන්ගෙන් කතා අහන්න , මං මැරිලා උඹ පස්සෙන් එනවා එහෙම උනොත් “

ඇත්තටම ගෑනියෙක් මිනිහගෙන් අයින් උනොත් ජීවත් වෙන්නම බැරිද ?

ඔය අතරේ සහෝදර ප්‍රේමය ගිනි ගත්තා. ලමයා ටිකක් ලොකු වෙලා අක්කා ගත්ත ස්කූටියෙ පැට්‍රල් වෙනුවට වතුර දාලා සෙල්ලම් කරලා. මල්ලිගේ ගෑනු ලමයා කෝල් කරලා තදියමට ඉස්ටාට් කලත් බයිසිකලේ තිබුනේ මැරිලා වගේ. එදා අපි හොස්පිටල් ගිහින් ඇවිත් නිදාගෙන හිටියෙ. කුනුහරප පොකුරක් කියාන දොර කඩාගෙන කාමරේට ආව මල්ලි ලමයගෙ කකුල් වලින් අදින්න හදද්දිම මම ඇගට පැනලා දරුවව වහ ගත්තා . ඒ කේන්තියට අත මිට මොලවලා ගහපු පාරවල් වලට ඇගට වඩා වේදනාවට කකියන්න ගත්තේ මගේ හිත. එයින් නතර නොවී පොල්ලක් ගෙනත් ඔලුවට ගහද්දී ඒ පාර මම කවර් කලේ වම් අත තියලා. ඒ එක්කම ඔලුවට වැදුන පාරට ඇස් නිලංකාර වෙලා අඩාගෙනම ” ගහන්න එපා මල්ලී රිදෙනවා ” කියාගෙනම ඇද වියට්ටට හේත්තූ වෙද්දී අත “චිරිස් ” ගාලා කැඩෙන සද්දේ ඇහුනා. පස්සේ මාව හොස්පිටල් ඇඩ්මිට් කලාට අම්මා ඇවිත් සිංහල බේත් කරන්න මාව බලෙන්ම එක්ක ගියා. ඒ මං රෝහල් පොලීසියට පැමිනිලි කලොත් මල්ලි හිරේ යන හින්දා .

වෙද මහත්තයා මොනවදෝ තියලා පතුරු දෙකකට මැදිකරලා අත වෙලුවට ඇදුම් කන වේදනාවට මට කලන්තෙ වගේ. ගෙදර ඇවිත් උයන්න රෙදි හෝදගන්න ගෙදර වැඩ කරන්න නම් අඩුවක් නැතිව ලැබුනා. දවසක් පාන්දර අත හොදටම කැක්කුම ගත්තයින් මං ගොඩක් අසරණ උනා.

” ආං අර සුපුන්ට වත් කෝල් කරලා බේත් ගන්න පලයන් මං ලමයව වැඩට එක්ක යන්න “

වතුපිටිවල හොස්පිටල් එකට ගියාම ඩොක්ටර්ස්ලා තුවාල සුද්ද කලේ ” කවුද ලමයෝ මේ පොල් සුබුලු තියලා බේත් කලේ ” සමච්චලයට ගනිමිනි . රාගමට මාරු කරලා එක්ස්‍ රේ ගත්තම උරහිස , වැලමිට ඉරි තලලා මැනික් කටුවත් වැලමිටත් අතර අස්ථිය කැඩිලා වෙන්වෙලා. ගල් ප්ලාස්ටරයක් දැම්මට මට පිස්සු වගේ . මගේ කේන්තිය දුක අසරණ කම එක්වෙලා මාව පිස්සියෙක් වගේ කලා.

ඒත් මං හරි අමාරුවෙන් කල්පනා කලා අත පය නැති මිනිස්සු හිත හයිය කරන් ජීවත් වෙන අපූරුව. මං හැමතිස්සෙම කල්පනා කලා මං මේ වලෙන් ගොඩ එන්නෙ කොහොමද කියලා.

ඩොක්ටර්ස්ලා අම්මට කතා කරලා බැන්නා මානසිකව කායිකව වැටිලා ඉන්න මං ලග උවටැන් කරන්න කවුරුත්ම නාවට. සුපුන් මාව එක පාරක් බලන්න ආවා. එයත් වහෙන් ඔරෝ කිවුවේ ” ඇද්ද උඹට මාව දාලා ගිහින් කර ගත්ත දේ ” කියලයි. මේ පීඩා අතරේ මට පිස්සු නොහැදුනු එක නම් පුදුමයි. ඒත් මං ජීවත් උනත් මැරිච්ච ගෑනියෙක් වගේ කියන එක නම් ගෙදරට නොතේරුනාට දකින ඕනම මනුස්සයෙක්ට තේරුනා. මගේ පෞරුෂත්වය පෙනුම හැමදේම බින්දුවට වැටුනා.

ටිකට් කපාගෙන ගෙදර ආවම ලොකූ පීඩනයකින් හිටියෙ මම. අනේ …… මගේ පුංචි පුතා චූටී අත් වලින් මාව සෝදලා මට ඇදුම් ඇන්දෙව්වා. ගල් ප්ලාස්ටරයත් අතේ තියාන උයන පිහන කොට හාල්මැස්සො කඩලා , ළූනු , සුදු ළූනු සුද්ද කරලා හරි හරියට මට උදවු කලා. මං ඇඩුවා මගේ පොඩි එකාව තුරුල් කරගෙන.

” අපිටත් දවසක් එයි රත්තරං
එතකන් මේ දුක් ඉවසගෙන ඉමු.”
මට කරන වෙනස්කම් මගේ දරුවට තේරුනා. මගේ අම්මත් එක්ක මගේ කොල්ලා පොඩි උනාට හරි හරියට රන්ඩු කලා. මගේ කොල්ලා හුරතල් ඒ වගේම නපුරුයි. අම්මට ආදරේ හිතුනට පොඩි එකා අම්මව ගනන් ගත්තෙ වත් නෑ මුලදි ඒත් පස්සේ පස්සේ දෙන්නා යාළු උනා.

” හෙලෝ…. නංගී , ඒක නෙවේ මගේ අදුරන ටීච කෙනෙක් ඉන්නවා එයාලට බබාලා නෑ . ලමයා හිටියට සල්ලි කීයක් වත් හොයා ගන්න බෑනේ රස්සාවක් කරලා. මොකද කියන්නේ දීලා දාමුද ? ලමයත් කරදරයක් නැතිව ලොකු වෙයි . හැබැයි ආයේ බලන්න නම් බෑ “

මට නැති වෙලාවේ කීය කීය හරි දුන්නනේ ජීවත් වෙන්න , ඒ නිසා මුකුත් කියන්න බෑ. වෙන එකෙක් කිව්වා නම් දත් ඇන්ද ගලවලා දෙනවා අතට.

” අනේ ……. ඒක නම් කීයටවත් කරන්න පුලුවන් වැඩක් නෙවේ. ඔයා අම්මෙක් වෙච්ච දවසකට තේරෙයි මට දැනෙන්නේ කොහොමද කියලා “

හිතට හඩන්නටවත් හයියක් නැත . ඒ තරම් හෙම්බත් වෙලා. ඒත් අතරමඟ නවතින්න බෑ. කලකිරීමේ තරම වචනින් කියන්න බෑ. මල්ලිව මම අත ඇරලා දැම්මා. වෛර කරන්නත් බෑ හරී වෙහෙසයි. තමන් කල කී දේ කවදාහරි තමන්ට ආපස්සට ලැබෙයිනේ. අම්මව අත අරින්නමත් බෑ ඒත් හිතට ලං කර ගන්නත් බෑ. එයා ඉන්නේ වැට උඩ. කොයි මොහොතේ කොයි පැත්තට වැටෙයිද දන්නෙ නෑ.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *