ජීවිතේ අතරමඟ දවසක් – 29

ජීවිතේ අතරමඟ දවසක් – 29
මගේ හිතේ සුරාජ් ගැන තිබුන ගෞරවය කවදාවත් නැති වෙන එකක් නෑ. බීපූ ගෑනියෙක් පිරිමියෙක් ලග හිටියොත් ඊළග දවසේ නැගිටින්න වෙන්නේ ලමයෙකුත් එක්ක . ඒ අතින් ඔහුට මහත්මා ගතියක් තිබුනා. ඔහුගෙන් සමුගෙන මම බෝඩිමට ගියත් දවස් දෙකක් විතර වැඩට නොයා කල්පනා කලා. ඔය අතරේ මම බැදලා මිනිහා දාලා ගිය ලමයෙක් ඉන්න ගෑනියෙක් කියලා කීප දෙනෙකුට ආරංචි වෙලා තිබුනා. මට ෂෙරීන්ව සැක හිතුනා. වැල නොකැඩී ලොකු තැනේ ඉදන් පොඩි තැනට වෙනකල් කට්ටිය මට ගොඩාක් උදවු කරන්න , සලකන්න , දුක අහන්න ඉදිරිපත් උනා. මම ඉල්ලා අස් වීමෙ ලියුම දීලා මාසයක් විතර රෙස්ට් කරන්න ගත්තා.
” හෙලෝ ,,, නංගා මොකද කරන්නේ ?? “
” මුකුත් නෑ නිදි “
” හවසට සෙට් වෙමු ද ? “
” මං බොන්නෙ නෑ කියලා හිතා ගත්තා ඕයී “
” න්….නෑ …….. ඒ මොකෝ ඒ , සුරාජ් තමුසෙට මොනාද දුන්නේ වෙනස් වෙන්න “
” ඔයා හිතන තරම් දෙයක් උනේ නෑ අපි අතර , අපි හොද යාලුවෝ විතරයි “
” ඇත්…ත….ට ….. “
ඇගේ කිකිළි හිනාව මාව සමච්චලයට ලක් කරද්දී මෙච්චර එකට ඉදලත් ඒකිට මාව තේරුම් ගන්න බෑ කියලා හිතුනා. මං හෙමින් හෙමින් කාලය එක්ක ෂෙරීන්ගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. වෙනදට තත්පරයක් ගානේ මම කෝල් කර කර ඒකිගේ මිනිහා වගේ යන එන තැන් කන බොන දේවල් හොයලා බැලුවා. මගේ ෆෝන් එකට දාපු සල්ලි වලින් ටිකෙන් ටික ඉතුරු වෙන්න පටන් ගත්තා. ඔය අතරේ මඟ අරින්න බැරි පාටියක් සෙට් උනා. එදා මගේ ජීවිතේ අප්රසන්න වගේම මිනිස්සු අදුරගන්න පුලුවන් උනු වාසනාවන්ත දවසක් උනා.
ෂෙරීන්ට නොදැනීම මම එයාව ඈත් කරන්න පටන් ගත්තත් එයා කියන කරන දේවල් ගැන ගොනා වගේ ඉදගෙන සිහි කල්පනාවෙන් හිතන්න පටන් ගත්තා. තඩි බතල මිනිහෙක් එක්ක කිරිබත්ගොඩ රෝයල් එකේ පාර්ටියට ආව ෂෙරීන් නිතරම උත්සාහ ගත්තේ ඒ බතලයත් එක්ක මාව තනි කරන්න. මම බොනවා වගේ හිටියට බිව්වේ නෑ . ඒත් බිව්වා වගේ රගපෑවා. බතලයගෙ වැඩේ මාව අතින් ඇදලා ලගින් ඉන්දවා ගන්න එක. අන්තිමේ මගෙන් අහනවා ,
” එහෙනම් අපි යමු ද ? “
” කොහෙද “
” මං රූම් එකක් බුක් කලා අපට “
” මට බෑ අනේ ,,, මට යන්න ඕනා ගෙදර “
බතලයා කොච්චර ඇඩුවත් මං බුරුලක් දුන්නේම නෑ.
” එහෙම කරන්න එපා , මං ෂෙරීන්ට පහලොස්දාහක් දුන්නනේ ඔයාව එක්ක එනවට “
මගේ ඇග සීතල වෙලා අන්දමන්ද උනා. සුරාජ් , මයිකල් අයියා කියපු දේ ඇත්ත උනා. එහෙනම් සල්ලි නෑ කිය කියා අඩපු ගෑනිගේ හෑන්ඩ් බෑග් එකේ පහලොස් දාහක් එකපාරටම තිබුනේ ඒකයි එහෙනම්. මං හම්බ කරපු සල්ලි වලින් ෂෙරීන්ටත් කීය කීය හරි දුන්නා . එහෙම කරපු මාව අද ඩීල් දාන්නයි යන්නේ උඹ එහෙනම්.
පොඩිකාලේ ඉදන් මට කවදාවත් යාලුවෝ ඉදලා නෑ. හම්බෙච්චි එකම යාලුවව මම පන වගේ බලා ගත්තා . ඒත් ඒකිට පුලුවන්නම් අම්මා තාත්තා උනත් විකුණං කන ගෑනියෙක් කියන එක අද මට තේරුම් ගියා.
මම අඬාගෙන එලියට දිව්වා. ආපු ත්රීවීලර් එකට අත දාලා බෝඩිම ලගින් බස්ස ගත්තා. ඔලුව පුපුරන්න වගේ. ඇස් ඉදිමිලා. මම තේරුම් ගත්තා වැඩකට නැති දේවල් වලට මගේ කදුලු නාස්ති කරන එක අපරාදෙ කියලා.
ෆෝන් එකෙන් ෂෙරීන් ගෙ නම්බර් එක බ්ලොක් කලා. FB, Whats app , viber සේරම බ්ලොක් කලා. වෙනදටත් වඩා තනිකම මාව තනි නොකර ලගින්ම හිටියා. තනියම ගමන් බිමන් යද්දි , ෆෝන් එක තියෙන නැති ගානට තියෙද්දී එකට හිටි අය නැති පාලුව තදින් දැනෙන්න උනා. ෂෙරීන්ගෙන් දැන අදුන ගත්ත යලුවෝ සේරම හලලා දැම්මා. දවසක් දෙකක් ගෙවා ගන්න අමාරු උනාට කාලයත් එක්ක මං ඒ තනිකමට නිදහසට ගොඩාක් ආස කලා. අනුන්ගෙ ප්රශ්න මගේ කර ගත්ත නැති නිසා ඔලුවේ තිබුනු බර ගතිය නැතිවෙලා ගොඩාක් සැහැල්ලු උනා.
මං වෙන තැනක රිසෙප්ෂනිස්ට් කෙනෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්තා. ෂෙරීන් ගෙන් අයින් වෙලා අවුරුදු දෙකක් විතර ගියත් එයා නිතරම මගේ මතකෙ හිටියා. ලෑන්ඩ්ෆෝන් එකෙන් කෝල් කරලා දවසක් එයා හොදටම ඇඩුවා ඒත් මං ආයේ මගේ ජීවිතේට එයාව වද්ද ගත්තෙ නෑ. ඔය අතරෙ සම්පත් කතා කලා මට . අවුරුදු දෙකක් විතර නොබී හිටපු මම පලවෙනි පාරට පාටියකට ගියා. ඒ වෙනසකටත් එක්ක. ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න . බයිට් කකා හිටියා මිසක් මම බිව්වේ නම් නෑ. එතන හිටියා සම්පත්ගේ යාලුවෙක්. එයා ගොඩක් සුහදව මා එක්ක කතා කලා. මට එයාව හිතට ඇල්ලුවා. පාටිය ඉවර වෙලා අපි ගෙවල් වලට ගියත් ෆෝන් එකෙන් නිතර කතා කලා . මට කෑම බීම මුදල් හදල් ඇති තරම් වියදම් කලා. එයාට ඕන වෙලා තිබුනේ කසාද බදින්න බැරි උනත් එයා මාවත් මං එයාවත් විතරක් හැමදේටම අශ්රය කරන්න. ඒ ආදරය රැකවරණය මම විඳින්න පටන් ගත්තා. සතෙකුට උනත් අදරය කරුණාව ලැබෙනකොට හීලෑ වෙනවා වගේ මම එයාට හීලෑ උනා. එයා සම්පත්ගෙන් මාව ඈත් කලා නිතරම. කවුරුත් අපේ මෙහෙම සම්බන්ධයක් ඇති කියලා නොහිතන තැනට අපි හොරෙන් හොරෙන් ආශ්රය කලා. එහෙ මෙහෙ ගියා. හරියට ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ කොල්ලෝ හොරෙන් ලව් කරනවා වගේ. ඉදලා හිටලා සිගරට් එකක් බාගේ බාගේ ගැහුවා. බාගයක් ගෙනත් බෙදාහදා ගෙන බිව්වා. එයා ගැන කැමැත්තක් මිසක් මට ආදරයක් තිබුනේ නෑ. ඒත් පක්ෂ පාතී බව තිබුනා. එයාගේ බිස්නස් වැඩවල හොද නරක කරන්න ඕන වෙනස්කම් . මිනිහා ගොඩ යනකොට සම්පත්ට ඇස් වල කටු අනිනවා වගේ උනා. සම්පත් අපි ගැන සැක කරන්න පටන් ගත්තා . මං ගැන බොරු වැරදි කියවන්න පටන් අරන් තිබුනා . ඒත් අපේ සම්බන්ධෙ ඔහේ ගලා ගෙන ගියා.
මං වැඩ කරපු තැන හිටියා වයසක මැනේජර් සර් කෙනෙක්. වයසට ගියාට එයා හරිම ප්රිය මනාපයි. මං එයත් එක්ක තමයි වැඩ කරන තැන ගැටලු ප්රශ්න කතා කරන්න පුරුදු වෙලා හිටියේ. එයාට දකින්න ඕන උනේ මම මීටත් වඩා ඉහලට යන එක. මං ඒ වයසක මනුස්සයට ළං වෙන්න පටන් ගත්තා. ආසාවක් ද ආදරයක් ද කියලා හිතාගන්නවත් බැරි මොකක්දෝ හැගීමකින් ඔහු ලගින් ඉන්න උත්සාහ කලා. ගොඩාක් අසනීපෙන් හිටපු ඒ මනුස්සයට ජීවත් වෙන්න ආශාවක් ඇති කලා. තඩි බඩ ගෙඩිය අඩු කරලා තරුන කලා. එයා මට ඉගෙන ගන්න ගොඩාක් උදවු කලා. පොත් පත් ඩිප්ලෝමා , බිස්නස් ඩිප්ලෝමා කරන්න මුදල් දුන්නා , සමහරදාට ක්ලාස් වලට ඇරලුවා කෑම බීම ලෑස්ති කරලා දුන්නා. ෂිෆ්ට් එකට වැඩ කරන්න උන නිසා සෙනසුරාදා රෑ වැඩ කරලා ඉරිදා උදේ ඕෆ් වෙලා ක්ලාස් ගිහින් විහාරමහාදේවී පාක් එකේ පොඩි ඇලට් එකක් දාලා ආයේ වැඩට එනවා. කොච්චර තෙහෙට්ටු උනත් මං සතුටින් හිටියා මොකද ඒ වයසක මනුස්සයා නිතර මං ගැන හොයා බැලුව නිසා. සම්පත්ගේ යාලුවා එච්චර ඉගෙන ගත්ත මනුස්සයෙක් නෙවේ ඒ නිසා ඉගෙන ගන්න දේකට උනන්දු කරන්න තරම් උවමනාවක් එයාට තිබුනේ නෑ. එයා ගොඩක් බිසී වෙන නිසා මං ගැන හොයලා බලන වෙලාව අඩු උනා. ඒත් මගේ බෝඩිමට මහ රෑට උනත් ඉඩක් තිබුනොත් ඔලුව දාලා යන්න අමතක කලේ නෑ.
ඔෆිස් එකේ වයසක සර් ගැනයි මං ගැනයි රාවයක් නැගී ගෙන එනකොට එයාට ඕනා උනේ මාව වෙන තැනක වැඩක දාන්න. ඒත් මං නින්දා ප්රශංසා සේරම එක සමානව විඳ දරා ගත්තා. ඔහු ගොඩක් දුක් උනා. මගේ ඉවසීමත් පැන්න නිසා මං ඒ ජොබ් එකෙනුත් අස් වෙලා ටිකක් කල් ගෙදර නැවතුනා.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *