Malawun Akuru Karayi [Chapter – 10]- මළවුන් අකුරැ කරයි- දසවෙනි කොටස

මම නැවතත් වෙව්ලමින් තිබූ මගේ දෑඟිලි යතුරු පුවරුව වෙත යොමු කරේ ඒ පොත සොයාගෙන කුමක් කරන්න ද යන්න විමසීමටයි..
මම “එ” යන්න සටහන්ව ඇති යතුර මත දබර ඇඟිල්ල තැබුවෙමි…නමුත් මේ හෝරා කිහිපය තුළ සියල්ල සිදු වන්නේ මළවුන්ගේ කැමැත්ත මත මෙන්‍ ය යන්න මනාවට පිළිඹිබු කරමින් දිරාගිය පිත්‍තල යතුර ” සලාං …….” හඬ නංවමින් ටයිල් පොළව මත පතිත විය …

කමක් නැත.. ” එ” යන්න මඟ හැර හෝ ටයිප් කිරීමට මම උපායක් කල්පනා කළෙමි.ඒ අතරතුර දේවින්ද බිම වැටුණු යතුර ඇහිඳගෙනවිත් යළි සවි කිරීමට අසීරු උත්සහයක යෙදෙයි…

“පොත හොයාගෙන මොකක්ද කරන්නේ ” යන්න මට දැන් ටයිප් කිරීමට අවැසි වචනයයි….

“සලාං……. ” එවර මාගේ මැදිහත්වීමකින් තොරවම තවත් යතුරක් බිම ඇද වැටුණි..නැත..දේවින්ද එබඳු අපරික්ෂාකාරී ක්‍රියාවක් නොකරන බව විශ්වාසය..මා සිතූ අයුරින්ම ඔහු අල්ලාගෙන සිටින්නේ පෙර කී යතුර හැලුණු තැනින් නොවේ…
මම වහාම බිමට පාත් වී එය ඇහිඳගත්තේ සුරතේ ඇඟිලි කිහිපයක්ම මළකඩ අතර දැවටෙද්දී..

“අක්කේ…මේක මෙච්චර වෙලා වැඩ කරපු එකත් පුදුමයි..බලන්නකො දිරල තියන තරම් ” ඔහු පැවසූ දෙය සැබෑවකි..යතුරු නොවැටී කලින් වචන කිහිපය හෝ වැදීම පුදුමසහගතය..සෙමින් සෙමින් කොන්ද ඔසවමින් මේසය වෙත නැගී සිටි මාගේ හිස වේදනාවෙන් පුපුරු ගස්සවමින් තවත් යමක් මගේ ගෙල මත පතිත වනවා දැණුනි.

“එහාට වෙන්න ඉක්මනට “… දේවින්ද මාව ඇද ඉවත් නොකළේ නම් මට සිදු වන්නේ මළකඩ බැදි යකඩ උලක් සහිත කඩා හැලෙන පිත්තල යතුරු වර්ෂාවෙන් සිරුර පසාරු කරගන්නටය..

ඒවා එකිනෙක බිම වැදෙන හඬ අවසන්වූ පසු මම සැනසුම් සුසුමක් හෙලුවත් පණිවිඩයේ ඉතිරිය දැන ගැනීම අපට අහිමි වීම ගැන දැනුනේ සංතාපයකි.

එන්න එන්නටම තත්වය දරුණු අතට හැරේ… රාත්‍රී 8 බව අඟවමින් ඔරලෝසුවේ බට්ටා නැවතත් නාදවුණි…

දැන් ශනුකිව ඇහැරවාගෙන ඉහළ මාලයට ගෙනයෑම ඉතාමත් අසීරු කටයුත්තකි.එනිසා ඇය සිටි අයුරින්ම එහි ඉන්නට හැර මම දේවින්දට මා සතුව ඇති කඩදාසි පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඔහු සමඟ ඉහළ මාලයට ඇවිද ගියා.

සිතේ ඇති චකිතය නිසා තරප්පුවේ පය වැදී නැගෙන බොල් හඬත් දැන් දැන් විකාරරූපීව ඇසෙන්නට පටන්ගෙන ඇත.
සර්පිලාකාරව තිබූ තරප්පු පෙළ වටා සුළං ධාරා සුළි ගැසී ගමන් කරන හඬද ඒ භීතිය තව තවත් වැඩිදියුණු කරයි.

“මා.ව .හි..ර..ක..ර..න් ති..යන්..ඉ..න්නේ ඇයී…… මා..ව එ..ළි..ය…ට…. ග…..නී….න්…. ”

සුළඟට මුසුව ආ ඒ කෙඳිරිල්ල සවනට වැටී දේවින්දත් මාත් එකිනෙකා දෙස බැලුවේ විසල් කරගත් දෑස් වලින්….

ඒ ශීලා නැන්දාගේ කටහඬ නම් නොවේ…අර දුරකථනයෙන් ඇසුණු හඬම බව ඉඳුරාම කිව හැකිය…

“ජරාආආආඅස්…….” මාත් දේවින්දත් අවසාන පඩිය මතින් කකුල ගෙන කොරිඩෝව මත තැබුවා පමණි …ඉතා වටිනා දැවයෙන් නිම කර තිබූ තරප්පු පෙළ කඩා වැටුණේ මගේ දෑස් අදහාගත නොහැකි අයුරින්..මෙය කිසිසේත් විය යුත්තක් නොවේ…අලුතින්ම නිමවූ මේ නිවාස කොටසේ තරප්පු පෙළ මෙතරම් ඉක්මනින් අබලන් විය නොහැකිය .අද දක්වා අදෘශ්‍යමාන බලවේග මා තුළ තිබූ සැක සංකා සියල්ල එක් ක්ෂණයකින් මා කෙරෙන් පළා ගියේය.

“දේවින්ද….කොහොමද කොහොමද ඒක වුණේ.අලුත් ගෙදර පඩිපෙළ කොහොමද කඩාගෙන වැටුණේ…” මම එක අතක් හිසේ ගසාගෙන උන්මන්තක කෙල්ලෙක් මෙන් වටපිට බලමින් විමසුවෙමි .

“නිත්‍යා අක්කේ..මෙතන අපිට නොපෙනෙන මොකක්ම හරි දෙයක් වෙනවා..අපිට දැන් පහළ තට්ටුවට යා ගන්නත් බෑ…. මට හිතෙනව ඔය සූරියබණ්ඩාර කියන කෙනායි අපිට මේ වෙන කරදරයි එක්ක සම්බන්ධයක් තියනව …

නැත්තන් නැත්තන් කවදාවත්ම මේ මිදුල ඔහොම යට වෙලා නෑ නේ….”

දේවින්ද බියට පත්වීම නිසා ගෙළ මත ඉනූ දහඩිය බිඳු පිසදමින් පැවසුවේය..

එක්කෝ මළවුන්ට ගේ තුළ රජයන්නට ඉඩ දී අප මෙයින් පිටවිය යුතුය.නැතහොත් ඔවුන් පළවාහැර අප මෙහි ජීවත් විය යුතුය..

ඈත කැළෑ මායිමේ සිට මහ හඬින් නරි හූ තියන්නේ මෙම අන්ධකාරය හා මූසලකමට සහයෝගය දෙන්නට මෙනි .මේ සියල්ලේ සුලමුල දන්නා පියදාස තවමත් නිවසට පැමිණ නැත….

ඇතැම්විට මාලා කුමක් හෝ දැන සිටීමටද හැකිය..විදුලි පන්දම එක් අතකින් ගෙන මම ප්‍රවේසමෙන් මගේ කාමරය තුළට අඩිය තැබුවෙමි …අත් බෑගය මේසය මත ඇත…වීදුරු කටුවලින් බේරී කෙසේ හෝ එයද රැගෙන නැවත කොරිඩෝව වෙත පැමිණියෙමු.

දැන් මමත් දේවින්දත් කොරිඩෝවේ පොළව මත හිඳගෙනය.මම අර පෙරදින හමුවූ කඩදාසි කිහිපය ගෙන බිම මත තබා දිගෑරියෙමි..සුපුරුදු ලෙසම රෝස මිශ්‍ර කපුරු සුවඳ පවනට මුසු වුණි…

ශීලා නැන්දා අත තිබුණේ තරමක් විශාල පොතක් වුවත් මෙතන ඇත්තේ පිටු හය හතක් පමණි..

උඩම තිබූ කොළයේ ඇත්තේ පෑන් රේඛා වලින් ඇඳි සිතුවමකි. රෝස පඳුර ආරුක්කුවක් වටා එතී ඇත. එය දූපතක් සේ තිබියදී වටකරගත් කුඩා පොකුණකි..
විදුලි පන්දම තවත් ටිකක් ලංකොට බැලීමේදී පෙණුනෙ ඒ පොකුණ ඇතුළට කූඹීන් ගමන් කරන්නාක් වැනි සටහනකි…පොත මත සිට කූඹීන් තැලීගොස් වත් මෙසේ සිතුවමට ඇලී ඇත්ද…

නැත .එසේ සිතීමට පවා ඇස් රවටන අන්දමින් සිත්තම්කරුවා සිය කර්තව්‍යය ඉටු කර ඇත…

නමුත් පොකුණක අභ්‍යන්තරයට කූඹීන් ගමන් කිරීම තරමක් උභතෝකෝටික ගැටළුවකි…එමෙන්ම මේ සිතුවම නිවැරදි නම් රෝස පඳුර වටා පොකුණක්ද තිබුණා විය යුතුය…

සිතුවමේ යටම වැල් අකුරු වලින් කළ සිතුවමකි.. ඔව්.. හොඳින් බැලූ විට එය ” සූරියබණ්ඩාර ” ලෙස පෙනෙයි.
එපමණක් නොව අපේ ගැලවීම තවත් පහසු කරමින් එහි යටින් දමා තිබූ දිනයද දෑසට හසු විය..

1949.12.31

දෙවියනේ… එනම් සූරියබණ්ඩාර ජීවත්ව ඇත්තේ අපේ සීයාටත් වයස 20 ක් පමණ වූ අවධියේය..රෝස පඳුර මෙතරම් අවුරුදු ගාණක් නිරුපද්‍රිතව පැවතුණේ කෙසේද…
එකම විසඳුම මේ පොතේ ඇති සියල්ල කෙසේ හෝ තේරුම් ගැනීමය…පහළින් ගලා යන මහා ජල කඳේ ” හෝ හෝ” ශබ්දය එන්න එන්නම වැඩි වෙයි…
ශනුකිට ද ඉහළ මාලයට ඒමට කිසිදු මඟක්ද නැත..පියදාස ආගිය අතක්ද නැත…

******************************************

“අනේ ගනේෂන් උඹ බෑ කියන්න එපා.. මලයාලි කට්ටඩිතුමාව කොහොම හරි මුණගැහෙන්න ඕනි …ඒ අනෝරා වැස්ස පහු කරන් කිසි කෙනෙක් නොඑන ගමනක් මං මේ ආවේ …..”

තව පැය කිහිපයකින් ඒ මහා මන්දිරය සෝදාගෙන යන බව පියදාස දනී…වත්තෙන් මෙහාට වන්නට එක වැහි පොදකදු නැත.මං මාවත් හා ගස් කොළන් සියල්ලම අඳුරේ නමුත් තෙතමනයකින් තොරව තිබේ…පියදාසට මෙය නුපුරුදු දෙයක් නම් නොවේ..ශීලාගේ මරණයදා සිටද සත් දිනක් මෙසේ වැස්සේ මැදුර යටකර දමමිනි..නමුත් මලයාලි කට්ටඩිතුමා පිහිටට ආවේය….දැන් එකම ගැලවුම්කරු ද ඔහුමය..

කෙසේ හෝ ගනේෂන් ට අත තිබූ මුදල් සියල්ලම දී ගෙදර යාමට මාරු කාසි කිහිපයක් පමණක් ළඟ තබා ගැනීමට පියදාසට සිදු විය..

කපුරු දුම් හා සුවඳ දුම් මැද පියදාස කුටියට ඇතුල් වුණි…

“ඔබ ආ දෙයින් පලක් නැත.තම තමන්ගේ ගැලවුම්කරුවන් තමන්ගේම සිහි කල්පනාව හා ඥානයයි..මට කළහැකි දෙයක් නැත”

පියදාස යමක් විමසන්නටත් පෙරම කට්ටඩියා පවසා සිටියේ පියදාසගේ සියොළඟම සීතලෙන් දවාලමින්.


පෙර කොටසට

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *