මුදලෙහි විකාශනය

අපගේ දිවියෙහි බොහොමයක් එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම උදෙසා මුදල් අප හට නැතිවම බැරි මිතුරෙකු වී හමාරය. ඔබෙගෙ පසුම්බියෙහි ඇති මුදල් නෝට්ටු , කාසි ආදිය ඔබ අතට පත්වූයෙ ඔබට කෙදිනකදී හෝ පැනයක් නැගී ඇත් ද?? ඔබ කෙදිනක හෝ වාණිජ විශය හදාරා ඇත්නම් ඔබට ඒ පිළිබඳව නිසැකවම ඉතා හොඳ දැනීමක් ඇති බැව් මගේ විශ්වාසයයි . එහෙත් වාණිජ විශය හදාරා නොමැති අප මිතුරු මිතුරියන් වෙනුවෙන් මුදලෙහි විකාශනය පිළිබඳව ඉතාමත් කෙටි සටහනක් ගෙන ඒමට අප සැලසුම් කලෙමු.

මුදලෙහි විකාශනය ප්‍රාග් ඓතිහාසික යුගය තෙක් දිවෙන්නක් බව පැවසුවහොත් ඔබ විශ්මයට පත් නොවිය යුතුයි . දඩයම් යුගයෙන් මිදුණු ආදි මානවයා ගොවි යුගයට එලඹීමේදි තම අවශ්‍යතාවයන් වෙනුවෙන් අතිරික්ත භාණ්ඩ හුවමාරුවට හුරුව තිබුණි . එනම් තමා විසින් නිපදවන අතිරික්ත භෝග හෝ වෙනත් භාණ්ඩ තමාට අවශ්‍ය වෙනත් භාණ්ඩ හා සේවාවන් වෙනුවෙන් හුවමාරු කර ගන්නට යෙදුණි. උදාහරණ ලෙස ගොවිතැන් කරන්නන් විසින් නිපදවනු ලබන අතිරේක භෝග කම්මල්කරුවාට දී ඒවෙනුවට ඔවුන්ට අවශ්‍ය කැති, මන්න , පිහියා ආදිය ලබා ගන්නට යෙදුණි.

නමුත් කාලයත් සමග භාණ්ඩ හුවම්මරුවෙහිද විවිධ ගැටලු මතු වන්නට විය. එනම් එක් අයෙකුට අවශ්‍ය යමක් මිලදී ගැනීමට තමා සතු අතිරික්තයෙහි අවශ්‍යතාවයම ඇති තම අවශ්‍යතාවයම අතිරික්තව ඇති අයෙක් සොයාඅ යාමට සිදු විය. එම ක්‍රියාවලියෙහි ඇති සංකීර්ණ භාවය හේතුවෙන්ම එය ක්‍රමයෙන් වියැකී ගොස් ඒ වෙනුවට වටිනාකම සංකේතවත් කරන යම් කිසි ද්‍රව්‍යයක් හුවමාරු කිරීම ඇරඹිණි . උදාහරණ ලෙස පබලු , මුතු , සිප්පි කටු ආදිය දැක්විය හැකිය .

තවදුරටත් මිනිසා පරිණාමය වීමේදී ස්වභාවික පරිසරයෙන් සොයා ගත් ද්‍රව්‍ය වෙනුවට ලෝහ වලින් කාසි නිපදවීමට ඔහු පෙළඹිණි. ඒ අනුව කසා පණ , ලක්ශ්මී තහඩු , සිංහ කාසි, කහවුණු හෝ ලන්කේශ්වර කාසි , ස්වස්තක කාසි ආදිය ආදි යුගයේ භාවිතයට ගත් කාසි ලෙස පුරාවිද්‍යාත්මක තොරතුරු වල සදහන්. ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහර මුදල් කෞතුකාගාරය විසින් මුදලෙහි විකාශනය මූලික වශයෙන් යුග හතරකට බෙදා දක්වා ඇත.
1. ආදි යුගය
2. මද්‍යතන යුගය
3. යටත් විජිත යුගය
4. නිදහසෙන් පසු යුගය.

නමුත් තවද මිනිසා දියුණු වීමෙදි මුදල විවිධ වෙනස්කම්වලට බදුන් විය. මුදල් ලෙස අප භාවිතා කරන කාසි සහ නෝට්ටු සදහා වටිනාකම් ද්විත්යකි.
1. මුහුනත වටිනාකම ( face value)
2. නෛසර්ගික වටිනාකම ( intrinsic value )

අතීතයෙහි කහවණු ආදී කාසි නිපදවීම සඳහා යොදා ගනු ලැබූයේ රන් රිදී වැනි වටිනා ලෝහ වර්ගය. එවිට ඒවායේ සංචරණය පරතරය (seignorage gap) එනම් මුහුනත වටිනාකමෙහි සහ නෛසර්ගික වටිනාකමෙහි වෙනස ඉතා විශාලය. එනම් කාසිය නිමවා ඇති කාසියෙහි ලෝහමය වටිනාකම එම කාසියෙහි මුහුනත වටිනාකමට වඩා ඉතා විශාලය . එවිට මිනිසා එම කාසිය මුදල් ලෙස භාවිතා කරනවාට වඩා වෙළඳ භාණ්ඩයක් ලෙස භාවිතා කිරීමට පෙළඹේ.

එබැවින් ක්‍රමයෙන් මූල්‍ය වෙලඳපොල දියුණු වීමෙදි එවන් කාසි වලින් මිදී නෝට්ටු හඳුන්වා දීමට සිදු විය. ලංකාව තුළ ප්‍රතම වරට නෝට්ටුවක් හඳුන්වා ඩෙන ලද්දේ ලන්දේසින් විසිනි. එය ක්‍රෙඩිට් බ්‍රිටන් ලෙස හෝ කාසි නෝට්ස් ලෙස හඳුන්වා දෙන ලදී. නෝට්ටු වල සංචරණය පරතරය ඉතා පහල අගයක් ගනු ලබයි. ඉතා ඈත අතීතයෙහි දී නම් මුදල් නිකුත් කිරීම පිළිබඳව විවිධ නීති රෙගුලාසි නොතිබූ නමුත් මූල්‍ය වෙළෙඳ පොල සංකීර්ණ වීමත් සමග ඒ වෙනුවෙන් විවිධ නීති සම්පාදනය කෙරුනි. ඒ අනුව මුදල් මණ්ඩලය , රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු ආදිය මගින් අතීතයෙහි නෝට්ටු නිකුත් කිරීම සිදු කෙරුනද වර්තමානය වන විට බොහෝ රටවල්හි නෝට්ටු නිකුත් කිරීමෙහි බලය ඇත්තේ ඒ ඒ රටෙහි මහ බැංකුව වෙතය.

තව දුරටත් තාක්ෂණය දියුනු වීමත් සමග භෞතික මුදල් යන සංකල්පය වියැකී ගොස් විද්‍යුත් මුදල් (e- money ) යනුවෙන් නව සංකල්පයක් බිහි වී ඇත. එහිදී විවිධ හර කාඩ්පත්, බැර කාඩ්පත් හා ගෙවීම් සඳහා ඇති වෙබ් අඩවි ආදිය මගින්ද ඔබට වටිනාකම් හුවමාරු කර ගත හැක. ටෙලිමනි( tele money ) , ක්‍රිප්ටෝ මනි ( crypto money) හා බිට් කොයින්ස් ( bitcoins) ඉතා ජනප්‍රිය විද්‍යුත් මුදල් ආකාර කිහිපයකි.

මෙසේ ගත් කල දුර ඈත අතීතයෙහි සිට අද දක්වා මුදලෙහි විකාශනය ඉතාමත් සැකෙවින් ඉහත විවරණ කොට ඇත . කලින් කලට මිනිස් අවශ්‍යතා වෙනස් වීමෙදි මුදල් ද ඒ අනුව හැඩ ගැසී ඇති බව ඉතා පැහැදිලිව දක්නට ඇත.

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *