නුබ

නුඹ

කෙනෙක් ජීවිතේ හිමිවීම අරන් එද්දී තව කෙනෙක් ජීවිතේ අහිමි වීම අරන් එනවා…අහිමි වීමත් එක්ක ජීවිතේ ගොඩ නගද්දී දැනෙන සතුටට වඩා හිමි වීමත් එක්ක ජීවිතේ ගොඩනගද්දි ලැබෙන සතුට හරිම අඩුයි….මම ප්‍රභාත් සමරදිවාකර…මේ මගේ කතාව නෙවෙයි…මං ආදරේ කරන ජීවිතේ කතාව….

හීන එක්කම ඉපදිච්ච මිනිස්සු හීන එක්කම මැරෙනවා..ජීවිතේ දිනන මිනිස්සු කවදාවත් හීන වලට ඔහේ යන්න දීලා බලන් ඉදිය අය නෙවෙයි…

පුංචි කාලේ මටත් තිබ්බා හීනයක්…

ඒත් ඒ හීනේ ටිකෙන් ටික මට අමතක වෙලා ගියේ සමාජයට යන්න යන්න දැනුම් තේරුම් වැඩි වෙන්න වැඩි වෙන්න….

මං ලොකු වෙන්න වෙන්න…

ටික කාලයක් යද්දී මට මුන ගැහුනා නුඹ….

ඔව් ඒ නුඹ…

මං නුඹ ආශ්‍රය කලේ විහිලුවට වගේ…

ජීවිතේ මට නුඹව මුන ගැස්සුවේ පෙර සසර පුරුද්දට කියලා මට ඒ කාලේ දැනුනේ නෑ…

නුඹලා අතරේ මට නුඹ , නුඹම විතරක් වෙලා තිබුනා…

ඒත් කොට කෑල්ලක් වගේ නුඹ ඉන්නකොට, නුඹට වෙන් උන ලෝකෙක හුරුබුහුටියට නුඹ ජීවත් වෙනකොට මට හිතුනෙම නුඹ තමයි මේ ලෝකෙම ඉන්න සතුටුම කෙනා කියලා…

මට මතකයි මං නුඹව දැකපු මුල්ම දවස…

කොල පාට ගවුමක් ඇදන් නුඹ හරි හරියට නුඹේ පිරිමි යාලුවොත් එක්ක කියව කියව බයිසිකලේ ගිය හැටි..නුඹ මට හිනා උනාද කියන්න මට මතක නෑ…

ඒත් මං නුඹට හිනා උනා….

කොහොඹ මල් පීදිච්ච මැයි මන්දාරමක නුඹ ව මට පෙනුනේ හරියට පිං සාර පුර පෝයක් වගේ..

මගේ පිරිමි හිත හෙල්ලුනා තමයි.ඒත් මට ඕනේ උනේ ලස්සනට හිනාවෙන නුඹේ හුරුබුහුටි මූණ දිහා බලාගෙන ඉන්න…

මතකද මං දවසක් නුඹට කතාකලා…

කිසිම වෙනසක් නොපෙන්වා නුඹ මට කිරි දරුවෙක් වගේ හිනා වෙද්දී ගොලු වෙච්ච මගේ මුලු ආත්මෙම මං ඇහැරවලා ගත්තා…

කාලයක් ගත වෙද්දී මට හිතුනා නුඹ ගැන හොයන්න…

නුඹට වඩා නුඹට වෙනස් මම නුඹ ගැන හෙව්වේ නුඹ කවුද කියලා දැනගන්න…

ඒත් ලස්සනට හිනා වෙලා ඉන්න නුඹ ඇතුලේ හැමදාම රෑට හීනෙන් ඉකිගසන දියවෙලා ගිය අතීතයක් තිබුනා කියලා මට හිතුනේ නුඹ මාව මග අරිද්දී…

සමහර විට නුඹට හිතෙන්න ඇති මං නුඹට ආදරේ කරනවා කියලා..මං දන්නේ නෑ මගේම ලෝකෙක තනි වෙච්ච මං ඇතුලේ නුඹ වෙනස්ම ලෝකයක් මැව්වා කියලා…

මට ඕනේ උනේ නෑ නුඹට ආදරේ කරන්න..

මට ඕනේ උනේ නුඹේ ආදරේ විතරයි…

මං දැනගත්තා නුඹ ත් මමත් අහසයි පොළවයි වගේ කියලා…

මට ඕනේ උනේ ඒ අහස යට නවතින්න විතරයි…

මට නුඹ ගැන හොයද්දී මං ගැනම දුක හිතුනු වාර අනන්තයි…

ඒ මං පිරිමියෙක් වෙලත් නුඹ ගැහැනියෙක් වෙලත් අපි අතර තිබුනු සමානකම් නිසා…

අපි අතර තිබුනු එකම අසමානකම උනේ මං නුඹ තරම් දුක් විදලා නැති කම…

මට මතකයි නුඹ නුඹේ කතාව මට කියපු දවස…

දැන් මට නුඹ ගැන ආඩම්බරයක් දැනුනට එදා මං නුඹ ගැන හිතුවේ අසම්මතේට පිපිච්ච නෙලුමක් කියලා…

ඒ නුඹ කලේ පිරිමියෙක් වෙලත් මං නොකරපු වැඩ…

වෙලාවකට මට හිතුනේ මං හරි ප්‍රාථමිකයි කියලා…

ඔව් මං දැන් දන්නවා මං ප්‍රාථමිකයි කියලා…

නුඹේ ප්‍රථම ආදරේ වෙනුවෙන් නුඹ ජීවිතේම කැප කලා කියද්දී මට දැනුනේ ඊර්ෂ්‍යාවක් කියලා මං නුඹට කිව්වේ නෑ…

මොකද ඒ වෙද්දී මට මගේ ප්‍රථම ආදරේ කවුද කියලවත් මතක තිබුනේ නෑ..

නුඹේ ආදරේ දාලා ගිහින් අවුරුදු හයක් වෙද්දීත් නුඹ තාමත් ඒ ආදරේට ආදරේ කරපු විදිය දැක්කාම මට මං ගැන ලැජ්ජාවක් දැනුනා…

ඒත් මට බය හිතුනා නුඹ නුඹේ ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් දිගටම ජීවත් වෙලා හිටියොත් මට නුඹට පෙම් කරන්න බැරි වෙයි කියලා..

මං මහ ආත්මාර්ථකාමීයෙක් වෙලා නුඹ මට පෙම් නොකලත් මං නුඹට පෙම් කරනවා කියලා කිව්වට මට නුඹේ ප්‍රථම ප්‍රේමය ලගටවත් ලං වෙන්න බැරි උනා කියලා දැන් මට හිතෙනවා…..

මං ආදරේ ගැන දැනගෙන හිටියේ නෑ..

ඒත් නුඹ මට ආදරේ ඉගැන්නුවා…

නමුත් මට ඒක නුඹ ලග ඉන්නකල් ඉගෙන ගන්න බැරි උනා..

මං දැක්කා නුඹේ ලස්සන කකුල් වල ඇගිලි අතරේ කලු පැල්ලම්…

දැක්කේ ඇගිලි විතරයි.

ඒ නුඹ කවදාවත් කකුල් පේන්න ඇන්දේ නැති නිසා…

මං ඇහුවා ඒ ඇයි කියලා නුඹ හිනා වෙලා හරි ආඩම්බරෙන් කිව්වේ “මං පාරක් පාරක් ගානේ බඩු විකුණුවා කියලා..

“මට පුදුම හිතුනා…

ඒ වගේම තරහත් ආවා…

මට හිතුනේ ඒක වැරද්දක් කියලා.

එදා මට හිතුනේ නෑ නුඹ ජීවිතේ ගොඩ දාගන්න කොච්චර දුක් වින්දද කියලා…

නුඹ පව් කියලා මං හිතනකොට මං පරක්කු වැඩියි…

තවත් දවසක නුඹ කිව්වේ ගාමන්ට් එකක වැඩකලා කියලා.එදා මට තවත් තරහ ගියා…

නුඹ කිව්වේ ඒ පංති යන්න සල්ලි හොයාගන්න කියලා..

මට එදා නිකමටවත් හිතුනේ නෑ නුඹ මොනතරම් වාසනාවන්තයි ද කියලා…

දුක් විදලා විදලා නුඹ හීන පස්සේ ගියපු නිසා තමයි අද මේ වගේ සරසවි බිමක මට නුඹ මුණගැහුනේ..

නුඹ බෝනික්කියක් වගේ හිනා වෙවී හිනා වෙවී යද්දී මං හිතුවේ නෑ නුඹ ඇතුලේ යකඩ ගැහැණියක් ඉන්නවා කියලා…

දවසක් මං නුඹ එක්ක කොළඹ ගියා…

නුඹට මේ නුවර වගේම ඒ කොළඹත් එක වගේ කියලා මං දැනගත්තේ එදා…

මට අදටත් කොළඹ පාරවල් නුහුරුයි.

ඒත් නුඹ මාවත් ඇදගෙන ගෙදර වගේ මුළු කොළඹම ඇවිදිද්දී මට පොළව පලාගෙන යන්න හිතුනා…

මට අහන්න හිතුනා නුඹ ද පිරිමියා මමද පිරිමියා කියලා…

මං දැක්කේ නුඹ ගෙන් යකඩ ගෑනියක් විතරක්ම නෙවෙයි…

අන්තිමට මං ජය ගත්තා…

නුඹ මට ආදරේ කලා.ඒත් මං නුඹට හරියට ආදරේ කලාද නැද්ද කියලා මං තාමත් හිතනවා…

මං මට පුලුවන් විදියට නුඹ ව බලාගත්තා…

ඒ නුඹෙත් මගෙත් ජීවිතවල ලස්සනම කාලේ.නුඹ ලග අම්මා නැති උනත් නුඹ මට අම්මා උනා..

නුඹ මට ආදරේ දුන්නේ එහෙමයි, හදවතින්මයි ඒත් මං මොක්ක්ද කලේ…

මං නුඹට ආදරේ කලාද කියලා මං අදටත් කල්පනා කරනවා.නුඹට ඕනේ උනේ මං ලගම දැවටි දැවටි ඉන්න, කියව කියව ඉන්න.ඒත් මට ටිකෙන් ටික ඕනේ උනේ මගේ නිදහස විදින්න.මං හැමවෙලාවෙම නුඹේ ඇස්වලින් දැක්ක ආදරේ අදටත් මාව හිරි වට්ටනවා..

නුඹට ඕනේ කලේ මාත් එක්ක අත් අල්ලන් ඇවිදන් යන්න…

මට ඕනේ උනේ නුඹට ඉස්සරහින් යන්න.ඒ ඇයි කියලා මට අදටත් හිතාගන්න බෑ. ඉස්සර නුඹ නිදාගත්තේ නෑ මං ලගට වෙලා පෝන් එකේ ඉන්නකල්, ඒත් කාලයක් යද්දී මං බිසී වෙද්දී නුඹ රෑ එලිවෙනකල් අඩන්න ඇති කියලා මට දැන් හිතෙනවා..මං වෙනුවෙන් කැපවෙලා ආදරේ කරපු නුඹ ව මං ඈත් කලේ කොහොමද කියලා මං අදටත් කල්පනා කරනවා..ඉස්සර මගෙ පුංචි වෙනසත් නුඹට දැනෙනකොට නුඹ මං ඉස්සරහ කෑ ගගහ අඩනකොට මං අහකබලන් යන්නේ නුඹව මට වදයක් කියලා දැනුන නිසාම නෙවෙයි මට බලන් ඉන්න බැරි නිසා…

මගේ අඩුපාඩු වලට ආදරේ කරපු නුඹ දකිනකොට මන් ගියේ මිරිගුවක් පස්සේ කියලා මට හිතෙනකොට , නුඹේ ආදරේ මට දැනෙනකොට මං ගිහින් තියෙන දුර වැඩියි…

නුඹ මං කවන බත් කටට පෙරේත වෙනකොට..

නුඹ බඩගින්නේ ඉද්දී මං කෑව වාර ගාන මට හිතාගන්නත් බැරි තරම්.නුඹ මගෙ කකුල් දෙක ලග වැටිලා නුඹ ලග ඉන්න කියද්දී මං නුඹ ව නැගිට්ටලා ඔලුව අතගාලා ආවේ මට නුඹ ට වඩා මගෙ නිදහස වටින නිසා…

දුක් විදලා විදලා හෙම්බත් වෙලා ඉදපු නුඹට මං කලේ ජීවිතේ එපා කරපු එක..

ආදරේ කියන්නේ ජීවිතේම නෙවෙයි කියලා තේරුම් කරන්න හදපු මට ජීවිතේ කියන්නේ ආදරේ කියලා හිතුනු වාර අනන්තයි…මං බත් කද්දි බලාන ඉන්නෙ නුඹගෙ බඩ පිරුනා කියලා මං දැනන් හිටියේ නෑ…

හැමදාම හම්බවෙලා යද්දී මං තිතක් වෙලා නොපෙනී යනකල් බලන් ඉදලා හොරෙන්ම අඩන බව මං දැනන් හිටියේ නෑ…

නුඹ ට මම මුලු ලෝකෙම වෙද්දී මං නුඹට මගේ ලෝකේ ඉඩක් නොදුන්න එක ගැන මං දැනන් ඉදියේ නෑ…

අවසානෙට නුඹ දුක් විදලා විදලා හැබෑ කරගත්ත ඒ හීන ඔක්කොම දාලා මං වෙනුවෙන් වේදනා උහුලගත්න බැරිව නුඹ ගියා කියලා මං දැනන් හිටියේ නෑ…

ලබාගත්ත ආදරයක් පරිස්සම් කර ගන්න බැරිවෙච්ච මට තිබිච්ච ආදරක් නැති කරගත්ත මට,ජීවිතේක වටිනාකම හෑල්ලුවට ගත්ත මට , මගේ හදවතින් ලැබෙන දඩුවමට වඩා තවත් විදවීමක් අවශ්‍ය ද?…

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *