එකම ලේ

“චූටි දූ. මෙන්න ෆනාන් දූවයි හසීනා දුවයි ඇවිත්.” අම්මා එහෙම කියද්දි මට දැනුනෙ ලොකූ සතුටක්.

“මෙහාටම එන්න කියන්න අම්මා.” මම කාමරේ ඉදන්ම කෑගැහුවා.

“දුලා… ඔයාට දැන් කෝමද.?” ෆනාන් ආවෙ එහෙම අහගෙනමයි.

“දැන්නම් තුවාල ටිකක් අඩුයි. කකුලට නම් බේත් බදින්න වෙයි සෑහෙන කාලයක්. කෙවින්ටයි විහඟිටයි කොහොමද දන්නෙ නෑ නේද දැන්.” මම කිව්වෙ හසීනාගෙ අතින් අල්ලගන්න ගමන්.

“කෙවින් අයියාටත් තාම හොද නෑ දුලා. රාධාගෙ තුවාලනම් ටිකාක් අඩුයි තමා. අපි ඒටත් ගීන් තමා අාවේ. ආන්ටී…. අපිට වෝ⁣ටර් දෙන්නකෝ.” හසීනා සිංහල කතා කරේ ටිකක් අපහසුවෙන්. අපි හැමදාමත් ඒකට හිනා උනා. ඒත් ෆනාන් නම් අපිටත් වඩා හොදට සිංහල කතා කරා.

අපි පදිංචි වෙලා හිටියෙ කොටස් කරල විකුණපු ඉඩමක. විවිධ පලාත් වලින් ආව විවිධ ආගම් අදහපු පිරිසක් එකම පවුලක සහෝදරයො වගේ ජීවත් උනා මෙහෙදි.

වෙසක් එකට සේරම එකතු වෙලා දන්සැල් දුන්න. නත්තලට හන්දියෙ ලොකූ ගවලෙනක් හදල සැරසුවා. රාමසාන් කාලෙට අපි සේරමල නෝම්බි ඇල්ලුවා. සිංහල හින්දු අළුත් අවුරුද්දට සේරමල එකතු වෙලා අවුරුදු උත්සවයක් කරා.

මෙහෙට ඇවිත් ගෙවුනු අවුරුදු දහයක කාලය පුරාවටම සිංහල , දෙමල, මුස්ලිම්, වගේම බෞද්ධ , කතෝලික, මුස්ලිම් , හින්දු මේ සේරමල හිටියෙ එකම පවුලක් වගේ.

බාල, තාරුණ, මහළු සේරමල කිසිම ජාති බේදයක් ආගම් බේදයක් සැලකුවෙ නැහැ. වත්තෙ ගෙවල් විසි දෙකක් තිබුන. හැමෝම ලොකු සුහද කමකින් වැඩ කරා.

හැම මාසෙකම අවසාන ඉරිදට පන්සලකට, මුස්ලිම් පල්ලියකට, කතෝලික පල්ලියකට, හින්දු කෝවිලකට ගිහින් බීච් ගිහින් විනෝද වෙලා එන පුරුද්දක් තිබුන අපේ වයසෙ යාළුවො ටික දෙනාගෙ. එදත් සුපුරුදු විදියටම අපි හය හත් දෙනා පාරට බැස්සෙ අවසාන ඉරිදා උන නිසයි.

ලංකාවෙ එක පලාතක සිංහල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි අතර ගැටුමක් තිබුනු කාලයකයි අපි මෙහෙම එකට මගට බැස්සෙ.

“මට නාම් බයාත් එක්ක අනේ.” හසීනා කිව්වෙ මගෙ අතින් අල්ලගෙන.

“මොකටද බය වෙන්නෙ. අපි ඉන්නවනෙ හසී.” මම කිව්වෙ ඒ අත තවත් තදින් මිරිකල.

“භය වෙන්න එපා හසීනා. අපි සේරමලම එක වගේ. අපිව දැක්කම කාටවත් අපිව වෙන් කරල අදුරගන්න බෑ.” කෙවින් කිව්වෙ හසීනාගෙ ඔළුවට අත තියල තද කරන ගමන්. හසීනා හයියෙන් හිනා උනේ කෙවින් ඒ කරපු වැඩේට.

අපි එදා ගියෙ පන්සලකට. සේරමල වැන්දෙ දන්න දන්න ගාථාත් කියමින්මයි. තම්බපු කඩල ගොටු ටිකකුත් කකා අපි ඇවිදල ඇවිදල මහන්සි වෙද්දි හවස හතරට විතර.

“අම්මෝ. දැන්නම් මහන්සියි. ගෙදර යමු අනේ.” විහඟි කිව්වෙ මහන්සි වැඩි කමටමයි.

අපි ගෙදර එන්න පිටත් උනා. බස් එකෙන් ඇවිත් අපේ වත්තට හැරෙන හන්දියෙන් බහිද්දි එතන ලොකු කලබලයක් තිබුනෙ.

“ආ මේ එන්නෙ කට්ටිය.” අපිව දැකපු හැඩි දැඩි කෙනෙක් එහෙම කියද්දි ධනුකයි කෙවිනුයි අපිව පස්සට දාලා ඉස්සර උනා.

“ඇයි අයි⁣යා මොකෝ කේස් එක.” ධනුක භයක් නැතුවම එහෙම ඇහුව.

“ඔයා කවුද මල්ලි” එතන හිටපු කෙනෙක් ධනුකගෙන් එහෙම ඇහුවෙ ⁣මූන ලගටම ලංවෙලා. හසීනාත් ෆනානුත් මගෙ දෙපැත්තෙන් හිටියෙ.

“මගෙ අප්පච්චි තමයි වික්‍රමසිංහ.” ධනුක තමන්ව හදුන්වල දුන්න. ධනුකගෙ අප්පච්චි තමයි මේ පලාතෙ උප දිසාපති වෙලා හිටියෙ.

“ආ මේ අපේ වික්‍රමසිංහ මහත්තයගෙ පුතානෙ. සමාවෙන්න සර්. අපිට ඕන නව්සර්ගෙ දුවල දෙන්නයි මෆාස්ගෙ පුතයි කව්ද කියල බලන්න. ඒ තුන්දෙනා ඉස්සරහට ආවානම් අපිට වැඩේ ලේසියි.” එතන හිටිය කළු උස මහත කෙනා එහෙම කියද්දි ධනුක පිටිපස්ස හැරිල අපි දිහා බැලුව.

ඒ ඇහුවෙ හසීනවයි , ෆනාන්වයි, නව්සීර්වයි. අපි හැමෝම ඇදල හිටියෙ ඩෙනිම් කලිසම් සහ අපේ තරුණ සමාජෙ ටී ෂර්ට් නිසා අපි කිසිම කෙනෙක්ගෙ ඇදුම් වල වෙනසක් තිබුනෙ නෑ. ඒ හින්දම අපිව වෙන්කරල හොයාගන්න ඒ අයට බැරි බව මට එක පාරටම මතක් උනා.

“මම තමායි නව්සර්ගෙ ලොකු ඩෝටර්. මේ මගේ අක්කා තමා.” හසීනා කතා කරන විදිය මට හොදට හුරුපුරුදු හින්දම රාධාගෙ අතින් ඇදන් මම එහෙම කියල ඉස්සරහට ගියා.

“මම තමයි මෆාස්ගෙ පුතා.” කියාගෙන කෙවින් අපි ලග⁣ට ඇවිත් හිටගත්තෙ කලින් කතා කරගත්ත වගෙයි.

“හොදායි. බෝම හොදායි. මෙයාලව අපි එවන්නම්. සර්ල ගෙවල් වලට යන්න.” එතකොටම තවත් කෙනෙක් කෑ ගැහුව. මේ හැම කෙනාම කතා කරද්දි කසිප්පු සුවදනම් නොඅඩුව අපේ නාස් පුඩු වලට දැනුන.

“මෙයාල දාල අපිට යන්න බෑ.”ධනුක කතා කරේ තරහින්.

“ලොකු බොස්ට තියෙන ගෞරවේට අපි ඉවසනව සර්. අපි හොද සිංහල ලේ තියෙන කොල්ලො. අපිට මේ පර හැත්තගෙ පර ලේ වලින් පලිගන්න ඕන. සර්ල යන්න සර් අපිට පව් නොදී.” ධනුකගෙ මූන ඉස්සරහට ඇගිල්ල දික් කරල කෙනෙක් එහෙම කිව්ව.

“යන්න ධනූ යන්න. ගිහින් අප්පච්චිලට කියන්න ඉක්මන්ට.” මම රහසින් වගේ එහෙම කියාගත්ත.

“හරි දුලා. අපි යමු.” මගෙ අත මිරිකල අතඇරපු ධනුක ඉස්සර වෙද්දි අනිත් අයත් ඒ පස්සෙන් දිව්ව.

ධනුකල පිටවෙද්දිම මටත් රාධාටත් කෙවින්ටත් මදි නොකියන්න ගුටි වැදුනෙ සිංහල ලේ තියෙනව කිව්ව මින්ස්සුන්ගෙන්මයි. මගෙ කට පැලිල රතු ලේ එලියට ආවා. රාධාගෙ නලලෙනුත් රතු ලේ ගලනව මම දැක්ක.

එතකොටම වාහනයකින් ආව මුස්ලිම් තරුණයන් පිරිසක් අපිට පහර දෙමින් සිටි පිරිසට ප්‍රතිප්‍රහාර එල්ල කරේ අපි දෙන්න මුස්ලිම් දරුවන් යැයි සිතමින් වියයුතුයි.

එම ගුටි බැට හුවමාරුවෙදි තුවාල වූ මුස්ලිම් තරුණයන්ලෙන් ගලා ගියෙත් රතු ලේ බිඳුමයි.

“වුඹල කෝමද අපේ ලමායිට ගහනවා. අපිත් නිකාන් ඉන්නෙ නෑ. අපි ඔද මුස්ලිම් ලේ තියෙන කොල්ලො.” උන් කෑගැහුවෙ එහෙම.

මේ පහරවල් කහිපයක්ම අපි තුන්දෙනාටත් වැදුනෙ කිසිම අනුකම්පාවක් නැතිවමයි.

එතකොටම අපේ වත්ත පැත්තෙන් කට්ටියක් දුවගෙන එනවත් අපිව රදවාගත් පිරිසත් පසුව පැමිනි පිරිසත් පලායනවාත් මට යන්තමින් මතක තිබුන.

රෝහලේදි නව්සීර්ගෙත් හසීනාලගෙත් දෙමාපියන් අඩමින් අපිට පිං දුන්නෙ තමන්ගෙ දරුවන් බේරාගත් බව කියමිනුයි. හසීනාත් ෆනානුත් නව්සීරුත් අපිට අපේම සහෝදරයන් වෙලා තිබුනෙ ජාතියක් ආගමක් ගැන නොහිතමයි.

අදින ඇදුමින් කතා කරන භාෂාවෙන් වගේම අදහන ආගමෙන් මිනිස්සු වෙන් කරන එක කොච්චර වැරදිද කියල මට හිතුන.

අපි කාගෙත් ලේ රතු පාටයි. අපි හැමෝම සතුටින් සමගියෙන් ඉන්නතාක්කල් මේ සමාජය ලස්සනට තියේවි කියල මේ ලෝකෙටම ඇහෙන්න කෑගහන්න මට හිතුන.

°• උපෙක්ඛා සේතුංග •°

අදහස් කියන්න…. 

 

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *